ශ්‍රී ලංකා ටෙලිකොම්, ලංකාවේ ප්‍රථම තොරතුරු සන්නිවේදන හා ඩිජිටල් සේවා සැපයුම්කරු ලෙස ISO 9001:2015 තත්ව කළමනාකරන පද්ධති සහතිකය දිනා ගනී.

46 ISO Certification Image

ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ඩිජිටල් සේවා සැපයුම්කරු මෙන් ම ප්‍රමුඛතම අන්තර්ජාල හා යටිතල පහසුකම් සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT), ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් නිකුත් කරන ලද ISO 9001:2015 තත්ව කළමනාකරණ පද්ධති සහතිකය හිමිකරගත් බව සාඩම්බරයෙන් දැනුම් දෙයි.

ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ අංශයේ සමාගමක් ගෝලීය මට්ටමේ කීර්තිමත් මෙම සහතිකය හිමිකරගත් පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි. බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගියදා පැවැත්වුණු විශේෂ උත්සවයක දී ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය වෙනුවෙන් සභාපති පී.ජී.කුමාරසිංහ සිරිසේන මහතා එම තත්ත්ව සහතිකය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය අතින් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ටෙලිකොම්හි ISO 9001:2015 තත්ව සහතිකය මඟින් සිය දේශීය හා ජාත්‍යන්තර සේවා සියල්ලම මෙන් ම ටෙලිෂොප්, කලාප කාර්යාල, ඇමතුම් මධ්‍යස්ථාන, පාරිභෝගික සේවා හා බිල්පත් මධ්‍යස්ථාන, පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථාන, මෙහෙයුම් හා නඩත්තු මධ්‍යස්ථාන, දිවයින පුරා විසිරුණු පුහුණු මධ්‍යස්ථාන යන සියල්ලෙහි මෙහෙයුම් ආවරණය කෙරේ. ලෝකයේ කීර්තිමත් පිළිගැනීම් ආයතනයක් වන නෙදර්ලන්තයේ RvA මඟින් මෙම තත්ත්ව සහතිකය විෂය පථයන් 19ක් ඔස්සේ පිළිගැනීමට ලක්කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB) විසින් ද මෙම තත්ත්ව සහතිකය විෂය පථයන් 22ක් සඳහා පිළිගැනීමට ලක්කර තිබේ. එබැවින් මෙම සහතිකය ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්ව තිඛෙන අතර රටවල් 170කටත් වැඩි සංඛ්‍යාවක මිලියනයකට අධික සමාගම් ISO 9001 වෙත සහතික වී ඇත. එක්සත් රාජධානියේ, සහතිකලත් විගණකවරුන්ගේ ලේඛනයේ (IRCA) ලියාපදිංචි ඉතා දක්ෂ, සුදුසුකම්ලත් පළපුරුදු විගණකවරුන්ගේ සහයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් මෙම තත්ත්ව සහතිකය සාර්ථකව අත්පත් කර ගත්තේය.

ISO 9001 ප්‍රමිතිය ආයතනයක තත්ත්ව කළමනාකරණ පද්ධතියට කාර්යක්ෂමතාව හා පාරිභෝගික තෘප්තිමත්භාවය අඛණ්ඩව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතා නියම කරයි. ISO 9001:2015 තතAතAව සහතිකය හිමිව තිබීම, අඛණ්ඩව වැඩිදියුණු කිරීම හා ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය ලබා දීම කෙරෙහි ආයතනයේ කැපවීම පිළිබඳ අමතර සහතිකයක් ලබා දීමේ ‘අභ්‍යන්තර කාර්යක්ෂමතා සැළැස්මක’ සාක්ෂියක් ලෙස සැලකිය හැකිය. එමඟින් ආයතනයකට වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා සඳහා ක්ෂණිකව අනුගත වීමට හැකි වේදිකාවක් සකසන අතර ම ආයතනය විසින් සියලූ ම ව්‍යවස්ථාපිත හා නියාමන අවශ්‍යතා සපුරාලන බවට සහතිකයක් ලබාදෙයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතා ‘තොරතුරු සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය සීඝ්‍රයෙන් විකාශනය වෙනවා වගේ ම රටේ සංවර්ධනයට තීරණාත්මක සාධකයක්. එනිසා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සමාගම් තමන්ගේ ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට වඩා පියවර කිහිපයක් ඉදිරියෙන් සිටීම හා වෙනස්කම්වලට ඉක්මණින් අනුවර්තනය වීමේ හැකියාව ඉතා වැදගත්. මෙම සහතිකය අපට එම කාර්ය කිරීමට හා තරගකාරීව රැඳී සිටින්න උපකාරී වෙනවා. අපගේ වියදම් අවම කරමින් කාර්යක්ෂමතාව හා ඵලදායීතාව තවදුරටත් ඉහළ නැංවීමට එය අපට උපකාරී වුණා. 2010 වසරේ දී දියත් කළ අපගේ අපේ තත්ත්ව කළමනාකරණ පද්ධතියට 2011 වසරේදී ISO 9001 ප්‍රමිති සහතිකය හිමිවුණා. නමුත් අපි එතැනින් නතර නොවී සැමවිට ම තොරතුරු සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ නිවැරදි භාවිතයන් පිළිපදිමින් රටේ සංවර්ධනයට උත්ප්‍රේරකයක් බවට පත්වෙලා ISO 9001:2015 තතAතAව සහතිකයට අවශ්‍ය අභ්‍යන්තර ක්‍රියාවලියට අදාළ තත්ත්ව කළමනාකරණ පද්ධතිය නඩත්තු කිරීම හා අඛණ්ඩව වැඩිදියුණු කිරීම සිදුකළා’ යනුවෙන් සඳහන් කළේය.

වර්තමානයේදී ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් බහු ජාතික සමාගම්, කුඩා හා විශාල ආයතනයන්, පෞද්ගලික අංශ, තනි හා දේශීය පාරිභෝගිකයන් ආදී මිලියන දෙකකට අධික ගණුදෙනුකරුවන් පිරිසකට සිය සේවා සපයනු ලබයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය හඩ ඇමතුම්, දත්ත, අන්තර්ජාල, තොග ගැනුම්, ව්‍යවසාය හා IPTV සේවා වැනි පුළුල් පරාසයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පහසුකම් හා සේවාවන් රාශියක් සපයයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව