ශ්‍රී ලංකාවේ ළමා හිංසන වැළැක්වීම වෙනුවෙන් #NOගුටි ක්‍රියාන්විතය ඇරඹෙයි

Child Protection Authority




 

 

  • SCC පදනම, ළමා ආරක්ෂණ සන්ධානය හා එක්ව දිවයිනේ ප්‍රථම වරට ළමා ආරක්ෂණය වෙනුවෙන් ස්වේච්ඡා තානාපතිවරු පත්කරයි

 2022 පෙබරවාරි 21, කොළඹදී – ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණ කටයුතු වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛ පෙළේ සංවිධානයක් වන, Stop Child Cruelty (SCC) පදනම, ළමා ආරක්ෂණ සන්ධානය (CPA) හා එක්ව #NOගුටි තේමාව යටතේ ළමුන්ට එරෙහි හිංසන වැළැක්වීමේ ජාතික වැඩසටහනක් 2022 පෙබරවාරි 21 වැනිදා කොළඹ ගොයිතෙ ආයතනයේදී එළිදැක්වීය.

මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ළමා ආරක්ෂණය වෙනුවෙන් ස්වේච්ඡා තානාපතිවරු පත්කිරීම කැපීපෙනුණි. තව ද, ප්‍රසිද්ධ ගායිකා උමාරා සිංහවංශ, ‘Voice 2021’ ජයග්‍රාහක හරිත් විජේරත්න සහ ආදිත්‍යා වැලිවත්ත එක්ව මෙම ජාතික වැඩසටහන වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කළ ගීතයක් එළිදැක්වීම ද විශේෂත්වයක් විය.

මෙම වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් Stop Child Cruelty භාරයේ (SCC) සමාරම්භක නිර්මාතෘ සහ ළමා ආරක්ෂණ සන්ධානයේ සම කැඳවුම්කරු වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය. “ළමා අපයෝජනයක් ලෙස හැඳින්විය හැකි ශාරීරික දඬුවම් පැනවීම, ශ්‍රී ලංකාවේ ජන සමාජය තුළ කලාතුරකින් සාකච්ඡාවට මාතෘකාවක්. මීට වසර 30කට පෙර ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට (UNCRC) අත්සන් කළ නමුත්, එහි සැළකිය යුතු ප්‍රගතියක් දක්නට ලැබෙන්නේ නැහැ. කෙසේ නමුත්, SCC පදනම සහ CPA එක්ව මේ සම්බන්ධයෙන් විශාල සමාජ බලපෑමක් නිර්මාණය කරමින් සිටිනවා. පසුගිය මාස 16ක කාලය තුළ දරුවන් 10 දෙනෙකු ශාරීරික සහ ලිංගික අපයෝජන කර ඝාතනය වුණු බව වාර්තා වුණා. නමුත් ඒ වෙනුවෙන් වගකිව යුතු රාජ්‍ය ආයතන මගින් කිසිදු වැදගත් පියවරක් ගෙන තිබුණේ නැහැ. තිරසර සංවර්ධන ඉලක්ක 16.2 සපුරාගනිමින් ළමා හිංසන වැළැක්වීම වෙනුවෙන් කැපවී සිටින එකම දකුණු ආසියාතික රට වන්නේ ද ශ්‍රී ලංකාවයි. නමුත් ලෝකයේ දරුවන්ට ඇති අනාරක්ෂිතම රටක් විදිහටත් අපේ රට හැඳින්විය හැකියි. #NOගුටි වැඩසටහන හරහා මෙම ගැටලුවලට අපි සාමූහිකව පිළිතුරු සැපයීමට උත්සාහ කරනවා. ළමයෙකුගේ වැරදි හැසිරීමක් වෙනුවෙන් අපයෝජනයට ලක්වීමට කිසිසේත් ඉඩ නොදිය යුතුයි”.

දරුවන්ට ශාරීරික දඬුවම් පැනවීම නතර කිරීමත්, ශාරීරික දඬුවම් ලබාදීම දණ්ඩ නීති සංග්‍රය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය 2021 පෙබරවාරි මාසයේදී ලබාදුන් ඓතිහාසික නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලබාගැනීමත් අරමුණු කරගනිමින්, SCC පදනම විසින්, CPA සමඟ එක්ව මෙම #NOගුටි වැඩසටහන ආරම්භ කරන ලදී. ළමා ආරක්ෂණ ස්වේච්ඡා තානාපතිවරු ලෙස පත්කරනු ලබන ජනප්‍රිය පුද්ගලයින්ගේ සහ ළමා ආරක්ෂණ නිලධාරීන්ගේ මඟපෙන්වීම යටතේ ළමුන් විසින්ම මෙම වැඩසටහන මෙහෙයවීමට සැලසුම් කර තිබේ.

ළමා අපයෝජන වර්ධනය වීමත් සමඟ ප්‍රථම වරට පත්කරන ලද මෙරට ළමා ආරක්ෂණ ස්වේච්ඡා තානාපතිවරු එක්ව මෙරට දරු දැරියන් සඳහා සුරක්ෂිත වටපිටාවක් බිහිකිරීමට මුල් වී සිටිති. මෙම ජනප්‍රිය ස්වේච්ඡා තානාපතිවරු හරහා මෙම පුළුල් ජාතික වැඩසටහනට විශාල උත්තේජනයක් සැපයෙනු නිසැක ය. මෙම ස්වේච්ඡා තානාපතිවරු වන්නේ, සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද්, උමාරා සිංහවංශ, හරිත් විජේරත්න, ආදිත්‍යා වැලිවත්ත, ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්, කලාකීර්ති නිරංජනී ෂන්මුගරාජා, අභිෂේකා ප්‍රනාන්දු, කෞෂල්‍යා ප්‍රනාන්දු සහ ඔටාරා ගුණවර්ධන යන අය යි.

“අපට කිසිසේත්ම දරුවන්ට අත ඔසවන්න හැකියාවක් නැහැ. එසේ කළත් අප ඒ පිළිබඳව පසුව දුක්වීමට ඉඩ තිබෙනවා. ඒ වගේම අපි දන්න කාරණයක් තමයි කුඩා දරුවන් නිතරම වැඩිහිටියන් අනුකරණය කිරීමට පෙළඹෙනවා. වැඩිහිටියන් කරන කියන දේවල් අපිත් කළාට කමක් නැහැ කියන අදහස ඔවුන් තුළ තියෙනවා. අපි දරුවන් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග යම් දවසක ඔවුන් දෙමාපියන් වූ දිනක ඔවුන්ගේ දරුවන් සම්බන්ධයෙනුත් අනුගමනය කිරීමට වැඩි ඉඩක් පවතිනවා. එම නිසා එවැනි අසාර්ථක දෙමාපිය පුරුදු ඉදිරි පරම්පරා වෙත දායාද නොකිරීමේ වගකීමත් අප සතුයි. අනෙක් අතට ශාරීරික දඬුවම් පැනවීම තුළ ඒ සම්බන්ධයෙන් දරුවන්ට අඳුරු අතීතයක් උරුම විය හැකියි. විශේෂයෙන්ම සතුටුජනක අත්දැකීම්වලට වඩා දුක්බර අත්දැකීම් ඔවුන්ගේ මතකයේ වඩාත් තදින් රැඳීමේ ඉඩක් තිබෙනවා. එම නිසා දරුවන්ට දඬුවම් කරනවා වෙනුවට ඔවුන්ට යහපත සහ අයහපත පිළිබඳ ආදරයෙන් තේරුම් කරදීම වැදගත්. යම් යම් සීමාවන් තුළ දරුවන්ටම යහපත සහ අයහපත තේරුම් බේරුම් කරගැනීමට දෙමාපියන් ඉඩ දිය යුතුයි”, යනුවෙන් ජනප්‍රිය රංගන ශිල්පී සහ #NOගුටි ස්වේච්ඡා තානාපති සාරංග දිසාසේකර පැවසුවේය.

මෙරට ළමා අයිතීන් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය වෙනුවෙන් උද්‍යෝගිමත්ව කැපවුණු සංවිධාන එකතු කරගනිමින් ශ්‍රී ලංකාවේ පළමු ළමා ආරක්ෂණ සන්ධානය බිහිකිරීමට SCC මුල්විය. මෙරට ළමුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉලක්කගතව සහ සාමූහිකව කටයුතු කිරීම තුළින් වැඩි සාර්ථකත්වයක් විශේෂයෙන්ම රාජ්‍ය ආයතන සමඟ කටයුතු කිරීමේදී අත්කරගත හැකි බව මෙම සන්ධානය දැඩිව විශ්වාස කරයි.

ළමා ආරක්ෂණය යනු සාමූහික සමාජ වගකීමකි. SCC පදනම සහ CPA එක්ව ළමා අපයෝජනවලට ගොදුරු වූවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ස්වයං පාලන ආචාර ධර්ම පද්ධතියක් ගොඩනැගීම සඳහා අඛණ්ඩව සහයෝගී ප්‍රයත්න දියත් කිරීමට අපේක්ෂා කරයි. එමෙන්ම ප්‍රජාව තුළ යළි යළිත් වින්දිතයින් බිහිවීම වැළැක්වීමට ද බලාපොරොත්තු වෙයි. මෙම සමාජ සද්කාර්යය සඳහා සිය දායකත්වය ලබාදීමට කැමැති ඕනෑම අයෙකුට www.stopchildcruelty.com වෙබ් අඩවිය හෝ www.facebook.com/stopchildcruelty ෆේස්බුක් පිටුව හෝ info@stopchildcruelty.com ඊමේල් ලිපිනය හරහා ඊට සම්බන්ධ විය හැක.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව