ශ්‍රී ලංකාවේ පීඩාවට පත් දරුවන් ලක්ෂයක් වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය ලබාගැනීමට ‘Light a Future’ දියත් කෙරේ

LIF Image (LBN Fill)

 



 

 

දින 90 ක් තුළ අමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් එක්රැස් කිරීමේ වෑයමක්

කොළඹ, 2022 සැප්තැම්බර් 14: අද දවසේ ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුට තම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වී තිබේ. එම නිසා ඔවුන්ට දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන් කිරීම අතිශය දුෂ්කර කාර්යයක් වී ඇත. ‘Save the Children’ ආයතනය මගින් මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයකට අනුව, ශ්‍රී ලංකාවේ පවුල් අතරින් 50%කට පමණ තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වැය කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති අතර, ඇතැම් දරුවන් දැනටමත් පාසල් හැරයාමට පෙළඹී ඇත.

දරුවන් පාසල් හැරයාම මගින් ඔවුන්ගේ සමාජ-ආර්ථික වර්ධනයට පමණක් නොව, සමස්තයක් ලෙස රටක සහ එහි ජනතාවගේ ආර්ථික හා සමාජයීය ප්‍රගමනයට ද අහිතකර බලපෑම් එල්ලවන බව ලොව පුරා පවතින සාක්ෂි මගින් පැහැදිලිව පෙනී යයි.

ශ්‍රී ලංකාවේ දරුවන් මුහුණ දී සිටින මෙම ඛේදනීය තත්ත්වයට විසඳුමක් සෙවීම සඳහා සර්වෝදය ආයතනය ඉදිරිපත් වී සිටී. දීර්ඝ කාලයක් පටන් ශ්‍රී ලංකාවේ ප්‍රජා සංවර්ධනය ඉලක්ක කරගත් සුවිශේෂී මෙහෙවරක නිරත වී සිටින සර්වෝදය ආයතනය, මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය වේ. මෙම වැඩසටහනට යටතේ, පරිත්‍යාගශීලීන්ගේ ආධාර භාවිතා කරමින්, රටේ දරුවන්ට තම පාසල් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා අත්‍යවශ්‍ය උපකරණ සහ ලිපිද්‍රව්‍ය ආදිය ලබාදීමට සර්වෝදය ආයතනය කටයුතු කරනු ඇත.

මේ සඳහා මෙරට ප්‍රමුඛතම අධ්‍යාපන සන්නාමය වන ඇට්ලස් සමග එක්වී, ‘Light a Future’ නමින් විශේෂ වැඩසටහනක් දියත් කිරීමට සර්වෝදය ආයතනය පියවර ගෙන තිබේ. මෙමගින් පාසල් හැරයාමේ අවදානමට දැඩිව මුහුණ පා සිටින දරුවන් 100,000කට අත්‍යවශ්‍ය පහසුකම් ලබා දී ඔවුන්ගේ පාසල් ගමන සුරක්ෂිත කිරීමට පියවර ගැනෙනු ඇත.

මේ සඳහා දින 90ක් ඇතුළත ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක මුදලක් සපයා ගැනීම ‘Light a Future’ වැඩසටහනේ මූලික අරමුණ වේ. දරුවන් 100,000ක් වෙනුවෙන් 2023 වර්ෂය සඳහා අත්‍යවශ්‍ය පාසල් උපකරණ මිලදී ගැනීමට මෙම මුදල් භාවිතා කෙරෙනු ඇත. මේ සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සහ එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වය ලබාගැනීම සඳහා අවශ්‍ය සහයෝගය, මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාර හා පුද්ගලයන්ගෙන් නො-අඩුව ලැබෙනු ඇතැයි ‘Light a Future’ වැඩසටහන බලාපොරොත්තු වෙයි.

වැඩසටහනේ ප්‍රධාන හවුල්කරු වශයෙන්, දරුවන් 2,500 ක් සඳහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය මෙන්ම, ‘Light a Future’ වැඩසටහනට අවශ්‍ය පාසල් උපකරණ සහන මිලට ලබාදීමට ද ඇට්ලස් සමාගම ඉදිරිපත් වී සිටී. එමෙන්ම මේ සඳහා විශේෂ ස්වේච්ඡා කණ්ඩායමක් අනුයුක්ත කිරීමට ද ඇට්ලස් සමාගම පියවර ගෙන ඇති අතර, ඔවුන් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රාජකාරි පැය 10,000කට අධික ප්‍රමාණයක් වැයකරනු ඇත. මෙම කණ්ඩායමේ දායකත්වය සමගින් මෙම වැඩසටහනේ මූලික යටිතල පහසුකම් ස්ථාපිත කිරීමට ඇට්ලස් සමාගම දායක වනු ඇති අතර, මේ ඔස්සේ මිලියන 3කට අධික ජාත්‍යන්තර ප්‍රජාවක් වෙත ආමන්ත්‍රණය කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ලොව සුප්‍රකට විගණන සමාගමක් වන Ernst & Young (EY), මෙම වැඩසටහනෙ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා විගණන දායකත්වය ලබාදීමට ඉදිරිපත් වී සිටී. පරිත්‍යාගශීලීන්ට තම පරිත්‍යාගයන්ගේ තත්ත්වය පිළිබඳව ‘Light a Future’ නිල වෙබ් අඩවිය හරහා පරීක්ෂා කිරීමට හැකිවන ආකාරයට එම වෙබ් අඩවිය තුළ සජීවී තොරතුරු පවත්වාගෙන යාමට සැලසුම් කර තිබේ.

දරිද්‍රතා සීමාවට පහළ ආර්ථික තත්ත්වයක් පැවතීම, ජීවනෝපාය මාර්ගයන්ට බාධා එල්ල වී තිබීම, කාන්තාවන්ගේ ප්‍රධානත්වයෙන් යුත් පවුල්, ආබාධ සහිත පුද්ගලයන්, සමෘද්ධි සහනාධාර ලාභීන්, දෛනික වැටුප් උපයන්නන්, අර්බුදයේ බලපෑමට ලක් වූ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හිමි පවුල් සහ සාත්තු නිවාස ආදියෙහි නේවාසිකව සිටින පුද්ගලයන්ගේ දරුවන් යනාදී නිර්ණායක අනුව, මෙම වැඩසටහන යටතේ ආධාර හිමිවන ප්‍රතිලාභී දරුවන් තෝරාගැනෙනු ඇත.

මෙම වැඩසටහන වෙනුවෙන් පරිත්‍යාග කරනු ලබන සියලු අරමුදල්, ඒ වෙනුවෙන්ම ස්ථාපිත කරන ලද සුරක්ෂිත ගෙවීම් ද්චාරයක් හරහා සර්වෝදය ආයතනය වෙත යොමුකෙරේ. අරමුදල් ලැබෙන ආකාරය අනුව, පාසල් උපකරණ කට්ටල 1,000 බැගින් පරිත්‍යාග කිරීමට සර්වෝදය ආයතනය කටයුතු කරනු ඇත. පෙරපාසල්, ප්‍රථමික සහ ද්විතීය යන ප්‍රධාන වයස් කාණ්ඩ තුනට ගැළපෙන ආකාරයට මෙම පාසල් උපකරණ කට්ටල සකස් කර තිබේ. මෙම උපකරණ අතරට පොත්, පැන්සල්, පෑන්, පාට පැන්සල්, පැස්ටල්, කටර්, මකන කෑලි, අඩිරූල්, ගම්, ක්ලේ, කතුරු, වතුර බෝතල්, කෑම පෙට්ටි සහ කවකටු පෙට්ටි ආදිය ඇතුළත් වී ඇත.

හුදෙක් පරිත්‍යාගශීලීන් ලෙස පමණක් නොව, හවුල්කරුවන් ලෙස ද මෙම මෙහෙවර සමග එක්වන මෙන් ‘Light a Future’ වැඩසටහන ශ්‍රී ලාංකිකයන්ට සහ සමාගම් හා ආයතනවලට ආරාධනා කර සිටී. මෙම පණිවිඩය වඩාත් හොඳින් ලොවට ගෙනයමින්, ජාත්‍යන්තර ප්‍රජාව සහ එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙම වැඩසටහන සමග සම්බන්ධ කිරීමේ හැකියාව සහිත හවුල්කරුවන්ට මෙම උදාර කර්තව්‍යයට තම වටිනා දායකත්වය ලබාදීමේ අවස්ථාව දැන් උදාවී තිබේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ‘Light a Future’ වැඩසටහනේ නිල වෙබ් අඩවියවන www.lightafuture.com හි දක්වා ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව