දකුණු ආසියාතික අවුරුදු 15න් පහළ සහ අවුරුදු 17න් පහළ කලාපීය කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ කණ්ඩායම් ශූරතා ද්විත්වයම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඉස්ලාමාබාද් නුවර පාකිස්තාන ක්‍රීඩා සංකීර්ණයේ පසුගියදා පැවැති මෙම ශූරතාවලියේ අවුරුදු 15න් පහළ කණ්ඩායම් ශූරගාවලියේ තරග 3කට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරග 3 ජයග්‍රහණය කරමින් ශූරතාවට හිමිකම් කීහ.
එම ශූරතාවලියේ අවුරුදු 15න් පහළ බාලක බාලිකා ඒකල, බාලක බාලිකා යුගල සහ මිශ්‍ර යුගල තරග අංශයෙන් නේපාලයට එරෙහිව තරග 5-0කින් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පාකිස්තානයට එරෙහිව තරග 4-1කින් සහ මාලදිවයිනට එරෙහිව තරග 5-0කින් ජයගැනීමට සමත් වූහ. අවුරුදු 17න් පහළ බාලක බාලිකා ඒකල, බාලක බාලිකා යුගල සහ මිශ්‍ර යුගල තර අංශයෙන් නේපාලයට එරෙහිව තරග 5-0කින් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පාකිස්තානයට එරෙහිව තරග 5-0කින් සහ මාලදිවයිනට එරෙහිව තරග 5-0කින් ජය ගනිමින් එම වයස් කාණ්ඩයේ කණ්ඩායම් ශූරතාව ද අත්කර ගැනීමට සමත් වූහ.
ආසියානු බැඩ්මින්ටන් සංගමයේ සංවිධායකත්වයෙන් සහ පාකිස්තාන බැඩ්මින්ටන් සම්මේලනයේ සත්කාරකත්වයෙන් පැවැති එම ශූරතාවලියේ අවුරුදු 15න් පහළ තරග අංශයට අමාවන් එදිරිසිංහ සහ අයංසා ද සිල්වා ඒකල තරගයට ක්‍රීඩා කළ අතර, අමාවන් එදිරිසිංහ සහ චෙනාල් දෙව්ෂාන් මඩපාතගේ බාලක යුගල තරගයට ද, තෙනුකි අයංසා ද සිල්වා සහ බෙනුරි ජනංගා විද්‍යාතිලක බාලිකා යුගල තරගයට ද ක්‍රීඩා කළහ. අමාවන් එදිරිසිංහ සහ තෙනුකි අයංසා ද සිල්වා එම වයස් කාණ්ඩයේ මිශ්‍ර යුගල තරගයට ක්‍රීඩා කළහ. තේජන හේරත් සහ නෙත්මි රත්නායක එම තරගාවලියේ අවුරුදු 17න් පහළ බාලක බාලිකා ඒකල තරගයට එක් වූ අතර, බාලක යුගල තරගයට තේජන හේරත් සහ මිහිල ජයවීර ද, බාලිකා යුගල තරගයට නෙත්මි රත්නායක සහ ලුක්ෂාණා කුමාර් ද ක්‍රීඩා කළහ. අවුරුදු 17න් පහළ මිශ්‍ර යුගල තරගයට ක්‍රීඩා කරනු ලැබුවේ නෙත්මි රත්නායක සහ මිහිල ජයවීර විසිනි.
ආසියානු බැඩ්මින්ටන් සංගමයේ සංවිධායකත්වයෙන් සහ පාකිස්තාන බැඩ්මින්ටන් සම්මේලනයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන දකුණු ආසියාතික බැඩ්මින්ටන් අවුරුදු 15න් පහළ සහ අවුරුදු 17න් පහළ කලාපීය කනිෂ්ඨ ශූරතාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනකු සමඟ පුහුණුකරු රජිත දහනායක, සහාය පුහුණුකරු ඉරේෂ් මධුරංග ද සිල්වා සහ ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය තරංගා විමලසූරිය මහත්ම මහත්මීහු ද එක් වූහ.