ශ්‍රී ලංකාවේ බලශක්ති කර්මාන්තයේ ප්‍රමුඛයා වන LTL Holdings සිය මූලික මහජන කොටස් නිකුතුව ප්‍රකාශයට පත්කරයි

IMG - Final (LBN)

ශ්‍රී ලංකාවේ බලශක්ති කර්මාන්තයේ ප්‍රමුඛතම සමූහ ව්‍යාපාරයක්වන, වසර 40 කට අධික ඉතිහාසයක් ඇති LTL Holdings Limited ප්‍රථම වරට මූලික මහජන කොටස් නිකුතුවක් ඔස්සේ කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත වීමට සැලසුම්කර තිබේ. මෙය කොළඹ කොටස් වෙළඳපොළ තුළ සිදුකරන විශාලතම මූලික මහජන කොටස් නිකුතුව බවට පත්වනු ඇත.

 



 

රු, බිලියන 16 ක වටිනාකමකින් යුත් මෙම කොටස් නිකුතුව යටතේ, කොටසක් රු. 14.50 බැගින් නව සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 1,379,310,400 ක් නිකුත් කෙරෙනු ඇති අතර, අවශ්‍ය නම් මෙය රු. බිලියන 20 දක්වා වැඩිකර ගැනීම සඳහා Greenshoe විකල්පය ද සහිතව කොටස් නිකුතුව සැලසුම්කර ඇත. මෙමගින් LTL Holdings සමූහයේ  ප්‍රාග්ධනයෙන් 22.3% කොටස් හිමිකාරීත්වයක් ලබාගැනීමට මහජනතාවට අවස්ථාව ලැබෙනු ඇත. කොටස් නිකුතුව 2024 සැප්තැම්බර් 10 දින ආරම්භවන අතර, කොටස් දායකත්වය සඳහා අයදුම්පත් දැන් භාරගැනේ.

මෙම කොටස් නිකුතුවේ ආයෝජනයෙන්  රු. බිලියන 13.5 ක්, ශ්‍රී ලංකාවේ ඉදිවන දෙවැනි LNG බලාගාරයවන කෙරවළපිටිය (Sahasdhanavi Ltd) මෙගාවොට් 350 ඒකාබද්ධ-චක්‍ර බලාගාරය ඉදිකිරීම සඳහා අවශ්‍ය සමස්ත ආයෝජනයෙන් කොටසක් ලෙස භාවිතා වනු ඇත. මීට අමතරව මෙම අරමුදල්වලින් රු. බිලියන 6.0 ක්, මෙගාවොට් 100 ව්‍යාපෘතියක්වන සියඹලාණ්ඩුව සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ (Rividhanavi (Pvt) Ltd) කොටස් ප්‍රාග්ධනයේ  ආයෝජනය කෙරේ.

LTL සමූහය මේ වනවිට බලශක්ති උත්පාදනය, EPC (Engineering, Procurement and Construction) බලාගාර සඳහා ඉංජිනේරු සේවා සැපයීම, O&M (Operations and Maintenance) මෙහෙයුම් හා නඩත්තු කටයුතු කොන්ත්‍රාත්, බලශක්තිය බෙදාහැරීමේ උපකරණ නිෂ්පාදනය සහ බර ඉංජිනේරු සේවා යන ක්ෂේත්‍ර තුළ ක්‍රියාත්මක වේ. පරිසර හිතකාමී බලශක්තිය වෙනුවෙන් ආයෝජනය කිරීම සඳහා LTL සමූහය  ප්‍රධාන වශයෙන් අවධානය යොමුකර ඇත. මෙම මූලික මහජන කොටස් නිකුතුව, LTL සමූහය වර්ධන ක්‍රමෝපායේ සුවිශේෂී සංධිස්ථානයකි. එමඟින් ඉදිරියේදී මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස තමන් සතු ස්ථානය තවදුරටත් තහවුරු කරගන්නා අතරම පරිසර හිතකාමී බලශක්තිය සම්බන්ධ නව ව්‍යාපෘති ආරම්භ කිරීම සමූහයේ අරමුණ වී ඇත.

ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ නේපාලය යන රටවල LTL සමූහයේ බලශක්ති නිෂ්පාදන ධාරිතාව මෙගාවොට් 894 ක්වන අතර, ඉදිරියේදී තවත් මෙගාවොට් 450 ක ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට නියමිත ය. මේ ඔස්සේ ඉදිරියේදී මෙගාවොට් 1,000 ඉක්මවූ ධාරිතාවක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රථම විශාලතම ස්වාධීන බලශක්ති නිෂ්පාදකයා බවට පත්වීමට LTL සමූහය සමත් වනු ඇත. ඒ අනුව එය කොළඹ කොටස් වෙළඳපොළේ ලියාපදිංචිවන විශාලතම ස්වාධීන බලශක්ති නිෂ්පාදන සමූහය බවට පත් වේ.

එමෙන්ම ට්‍රාන්ස්ෆෝමර් නිෂ්පාදනය සහ ගැල්වනයිස් සේවා සම්බන්ධයෙන්ද ප්‍රමුඛයෙකු බවට පත්වීමට LTL සමූහය සමත් වී ඇත. දකුණු ආසියාව සහ අප්‍රිකාව ඇතුළු කලාපවල රටවල් 30 කට අධික සංඛ්‍යාවක එහි සේවා ව්‍යාප්ත වී තිබේ. එමෙන්ම LTL මේ වනවිට ඉන්දියානු අනුබද්ධ සමාගමක් සමග එක් වී, ඉන්දියාවේ මෙන්ම  ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව යන කලාපවල තවත් රටවල් කිහිපයක වෙළඳපොළ සඳහා බලශක්ති උපාංග ස්විච් නිපදවීමද සිදුකරයි.

ඉදිරියේදී තවත් බලශක්ති ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමටත්, විදේශ රටවල් කිහිපයක නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමටත්, LNG යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ හැකියාව ගවේෂණය කිරීමටත් LTL සමූහය බලාපොරොත්තු වෙයි.

දැනට ලංකා විදුලිබල මණ්ඩලය, West Coast Power (Pvt) Ltd, Teckpro Investment Limited සහ Peradev Limited වැනි සමාගම් හා ආයතන LTL හි කොටස් හිමිකාරීත්වය දරන අතර විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයෝ පිරිසක් එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවය කරති.

එමෙන්ම LTL සමූහය කැපීපෙනෙන මුල්‍ය ප්‍රතිඵල වාර්තාකරගැනීමට සමත් වී ඇති, විශේෂඥ තාක්ෂණික දැනුමක් සහිත සමූහ ව්‍යාපාරයකි. 2024 මාර්තු 31 දිනයෙන් අවසන් වූ මුල්‍ය වර්ෂය තුළ එහි ඒකාබද්ධ ආදායම රු. බිලියන 59.8 ක් වූ අතර,  බදු පසු ලාභය රු. බිලියන 5.8 ක් විය. මෙම ආදායමෙන් 70% ක්ම විදේශ විනිමය හා සම්බන්ධ ආදායම් වේ. 2024 මාර්තු 31 දින වන විට සමූහයේ සමස්ත වත්කම් වටිනාකම සහ සමකොටස් වටිනාකම පිළිවෙළින් රු. බිලියන 133.6 ක් සහ රු. බිලියන 74.4 ක් ලෙස වාර්තා වී තිබිණි. සමූහයේ වසර 5 ක සාමාන්‍ය බදු පසු ලාභාන්තිකය 35% ක්වන අතර, කොටස් මත ප්‍රතිලාභ අනුපාතය 27% ක් විය (2020 මූල්‍ය වර්ෂයේ සිට 2024 මුල්‍ය වර්ෂය දක්වා). මෙගාවොට් 350 ක ධාරිතාවකින් යුත් කෙරවළපිටිය සොබාදනවි බලාගාරය ක්‍රියාත්මක වීමෙන් අනතුරුව මෙම මුල්‍ය ක්‍රියාකාරීත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. බලශක්ති කර්මාන්තයේ සැපයුම් දාමයේ පූර්ණ ඒකාබද්ධ සමූහයක් වශයෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ රටවලද බලශක්ති ක්ෂේත්‍රයන්හි උදාවන අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ලැබීමේ හැකියාව LTL සතු ය.

මෙම මූලික මහජන කොටස් නිකුතුව කළමනාකරණය කරනු ලබන්නේ NDB Investment Bank Limited සහ CT CLSA Capital (Private) Limited මගිනි. F J & G de Saram සමාගම එහි නීතීඥවරුන් ලෙස කටයුතු කරන අතර, SSP Corporate Services (Private) Limited මගින් ලේඛකාධිකාරී සේවාවන් සපයනු ලැබේ. කොටස් නිකුතුවේ නිල බැංකු ලෙස හැටන් නැෂනල් බැංකුව සහ සම්පත් බැංකුව කටයුතු කරයි.

වැඩිදුර තොරතුරු සඳහා සහ මෙම කොටස් නිකුතුවේ ආයෝජනය කිරීම සඳහා පිවිසෙන්න: www.ltl.lk/ipo/.

 

 


 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව