ශ්‍රී ලංකාවේ පාපැදි කර්මාන්තය රැකගැනීම වෙනුවෙන් ලුමාලා සේවකයෝ රජයට බලකරයි

Untitled design - 1

දකුණු ආසියාවේ ප්‍රමුඛතම පාපැදි නිෂ්පාදන සමාගමක්වන ලුමාලා සිටි සයිකල් ඉන්ඩස්ට්‍රීස් මැනුෆැක්චරින් පුද්ගලික සමාගම වැසී යාමේ අවදානමක් මතුව ඇති බවට එහි සේවකයෝ කණස්සල්ල පළකරති. දශක පහකටත් වැඩි කාලයක් පුරා මෙරට ප්‍රමුඛ සමාගමක් ලෙස නමක් දිනා සිටින පානදුර පිහිටි ලුමාලා පාපැදි නිෂ්පාදන සමාගම, ඉහළ යන නිෂ්පාදන පිරිවැය සහ අසාධාරණ වෙළෙඳපොළ තත්ත්වයන් හේතුවෙන් මෙසේ වැසී යාමේ අවදානමකට මුහුණ පා තිබේ.
 



 
″සමාගමේ කළමනාකාරීත්වය මේ වනවිටත් කොටස් වශයෙන් සමාගමේ වැඩකටයුතු නවතා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව,ශ්‍රී ලංකාවේ පිහිටි ක්‍රොමියම් ප්ලේට් නිෂ්පාදනාගාර කිහිපය අතුරින් එකක්වන ලුමාලාහි ක්‍රොමියම් ප්ලේට් නනිෂ්පාදනය නවතාලීමටත්
වානේ රිම් නිෂ්පාදන ඒකකය සමාප්ත කිරීමටත්, සමාගම කටයුතු කර තිබෙනවා. ඉදිරියේදී, ෆෝර්ක් සහ මඩ්ගාඩ් නිෂ්පාදනය, ඇලෝ රිම් නිෂ්පාදනය, ෆ්‍රේම් නිෂ්පාදනය සහ පින්තාරු නිෂ්පාදන ඒකකය ඇතුළු අංශ ගණනාවක් වසා දැමීමට සිදුවනු ඇත. ඊට මුහුණ දීමට ඉතාම කඩිනම් පියවර ගත යුතුයි. දශක දෙකකටත් වැඩි කාලයක් පුරා ලුමාලා සමාගම වෙනුවෙන් සේවය කළ සේවකයින් දැන් තමන්ගේ රැකියාව අහිමිවීමේ අවදානමකට මුහුණපා සිටිනවා″, යනුවෙන් ලුමාලා කර්මාන්තශාලාවේ සාමාන්‍යාධිකාරී රන්ජිත් සිරිවර්ධන මහතා පැවසුවේය.

මෙම අර්බුදයට බලපෑ ප්‍රධාන අභියෝග කිහිපයක් ද ලුමාලා සේවකයෝ පෙන්වාදෙති ඔවුන් පෙන්වා දෙන ආකාරයට නිසි නියාමනයකින් තොරව සිදුකෙරෙන පාපැදි සහ විද්‍යුත් පාපැදි ආනයනයට ඊට එක් හේතුවකි. එමෙන්ම ඇතැම් වෙළෙඳ ආයතන, පාපැදි අමතර කොටස්, පාපැදි නිෂ්පාදන අමුද්‍රව්‍ය ලෙස හුවාදක්වමින් රේගු බදු සහ වැට් බදු වංචා සිදුකරමින් විශාල ලෙස ලාභ ඉපැයීමටත්, ඉතාම අවම මිලගණන් යටතේ එම පාපැදි වෙළෙඳපොළට නිකුත් කිරීමටත් පියවර ගෙනඇත.

එමෙන්ම ඉතාම අවම මිල ගණන් යටතේ මෙරටට පාපැදි ආනයනය කිරීමට අවස්ථාව තිබියදී දේශීය නිෂ්පාදන සඳහා සපයාගන්නා අමද්‍රව්‍ය වෙනුවෙන් ඉහළ බදු පනවා තිබේ. එහිදී නිෂ්පාදන පිරිවැය ඉහළ යන අතර, දේශීය ව්‍යාපාරවල තරගකාරීබව ද පහළ යයි. මෙය ලුමාලා වැනි ආචාරධාර්මික ගුණ ආමන්ත්‍රණය කරන සමාගමක පැවැත්මට අභියෝගයක්වන අඅතරම, එය රජයට විශාල බදු ආදායමක් අහිමිවීමක් ද සිදුවේ.

ලුමාලා සමාගම මුළුමනින්ම වසාදැමීමට පියවර ගතහොත් එහි බලපෑම හුදෙක් සේවකයින්ගේ ගැටලුවකට එහා ගිය අභියෝග රැසක් මතුකරයි. විශේෂයෙන්ම ලුමාලා සමාගම සමඟ නිරන්තර ගනුදෙනුකරන දේශීය සැපයුම්කරුවන්ට ද ගැටලු මතුකරනු නිසැක ය. ඊට අමතරව, ලුමාලා සමාගමේ නිෂ්පාදනය කරන අමුද්‍රව්‍ය ලබාගන්නා යතුරුපැදි සහ මොටර්රථ වැනි වෙනත් නිෂ්පාදන සමාගම්වලට ද අමුද්‍රව්‍ය සපයාගැනීමේ දුෂ්කරතාවක් මතුකරනු ඇත. කර්මාන්ත අමාත්‍යංශය විසින් තහවුරු කරන ලද ආකාරයට සියයට 50 සියයට 70 දක්වා සමාගමේ දේශීය අගය එකතුකිරීම් වර්ධනය වී තිබුණ ද, තම ගැටලුවලට නිසි විසඳුම් ලැබී නොමැතිබව සේවක මතය වී තිබේ.

මේ සියල්ල සැළකිල්ලට ගනිමින් සාධාරණ බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් අසාධාරණ වෙළෙඳපොළ භාවිතාවන් වළක්වා දෙන ලෙස ලුමාලා සේවකයෝ රජයට බලකර සිටිති. එමෙන්ම ශ්‍රී ලංකාවේ පාපැදි කර්මාන්තය මුහුණ දෙන පද්ධතිමය ගැටලු විසඳීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යංශය, කාර්මික සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රේගුව සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව එකට එක්ව සාමූහික පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව ද ඔවුහු මතුකරති. ලුමාලා සමාගමට අවශ්‍ය වන්නේ විශේෂ වරප්‍රාසාදයක් නොව සියලු නිෂ්පාදකයින්ට සමානව තරගකළ හැකි වෙළෙඳපොළක් නිර්මාණය කරගැනීම බව සේවකයින් අවධාරණය කරයි.

රාජ්‍ය නිලධාරීහු මීට පෙර දේශීය කර්මාන්ත රැකගැනීම වෙනුවෙන් කැපවන බවට ප්‍රකාශකර ඇති පසුබිමක රජයේ මැදිහත්වීම තුළින් තම රැකියා ආරක්ෂා කරගැනීමට මෙන්ම කර්මාන්තය ආරක්ෂා කරගැනීමට ද හැකිවනු ඇතිබව සේවයෝ විශ්වාසය පළකරති.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව