විදේශ රැකියාවලට යන පිරිස 20%කින් අඩු වෙලා බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන සංගමය පවසයි

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 75

විදේශ රැකියා නියෝජිතායතන සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පිළිබඳව ජනතාව තුළ පවතින විශ්වාසය බිඳ දැමීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන සැළැසුම්සහගත කුමන්ත්‍රණයක් හේතුවෙන් මෙරට විදේශ රැකියා ක්ෂේත්‍රය බරපතල ලෙස කඩා වැටී ඇති බව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන සංගමය සඳහන් කළේය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් මොහමඩ් ෆාරුක් මොහමඩ් අර්ශාඩ් පැවැසුවේ පසුගිය වසරවලට සාපේක්ෂව මේ වන විට රැකියා සඳහා විදේශගත වන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 20%කට ආසන්න අගයකින් පහළ ගොස් ඇති බවයි. මෙය රටේ විදේශ විනිමය ආදායමට බරපතල බලපෑමක් ඇති කරනු ඇතැයි ඔහු පැවැසුවේය.

 



 
“සමාජ ක්‍රියාකාරීන් යැයි කියා ගන්නා පිරිසක් විදේශ රැකියා ක්ෂේත්‍රය බිඳ දැමීමට කටයුතු කරමින් ඉන්නවා. ඔවුන්ගෙන් සමහරුන්ට විවිධ බාහිර පාර්ශ්වවලින් විශාල වශයෙන් මුදල් ලැබෙන බවට තොරතුරු තිබෙනවා. රැකියාවක් සඳහා විදේශගත වීම පිළිබඳව ජනතාව තුළ ඇති විශ්වාසය බිඳ දැමීම සඳහා ඔවුන් ගෙන යන වැඩපිළිවෙල කුමන්ත්‍රණයක් බව ඉතාමත් පැහැදිලියි.” ඔහු පැවසීය. මෑතකදී එවැනි කණ්ඩායමක් පැමිණ විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූ බව පැවැසූ ඔහු සඳහන් කළේ එයද විදේශ රැකියා ක්ෂේත්‍රයට හානි කිරීමේ එක් උත්සාහයක් බවයි.

යම් මූල්‍ය අක්‍රමිකතාවක් හෝ වෙනත් වරදක් සිදු කර ඇති ඕනෑම විදේශ රැකියා නියෝජිතායතනයකට, පුද්ගලයෙකුට, නිලධාරියෙකුට එරෙහිව අදාළ ක්‍රියා මාර්ග ගැනීම සඳහා තම සංගමය පූර්ණ සහයෝගය දෙන බවත්, එහිදී අවශ්‍ය පියවර ගැනීම සඳහා පිළිගත් සහ විධිමත් යාන්ත්‍රණයක් තිබෙන බවත් ඔහු පැවැසීය. “කවුරුහරි වරදක් කරලා තිබෙනවා නම් ඒ පිළිබඳ ක්‍රියා මාර්ග ගැනීමේ ක්‍රියාවලියක් තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විදේශ සේවා නියුක්ති කාර්යංශය වැනි ආයතන වෙත ගොස් පැමිණිලි කරන්නට පුළුවන්. වසර 45කටත් වැඩි කාලයක් ඒ කටයුතු සිදු වුණේ ඒ ආකාරයටයි.”

අදාළ ක්‍රියා මාර්ග ගැනීම වෙනුවට විවිධ පුද්ගලයන්ට ක්ෂේත්‍රයට හානි කිරීමට ඉඩ දෙන්නේ නම් 2022දී රට තුළ ඇති වූ ආර්ථික අර්බුදයට සමාන තත්ත්වයක් නැවතත් රට තුළ ඇති වනු ඇතැයි ඔහු අනතුරු ඇඟවූයේය. “වසරකට 300,000කට ආසන්න පිරිසක් විදේශ රැකියා සඳහා යොමු වෙනවා. ඔවුන් වාර්ෂිකව ඩොලර් බිලියන 7කට ආසන්න මුදලක් රටට එවනවා. මේ ක්ෂේත්‍රය බිඳ වැටුනොත් ජනතාවට නැවතත් විදුලි බලය නැතිව පෝලිම්වල ඉන්න සිදු වේවි.”

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව