විදුලි ගාස්තු සංශෝධනය 2022

WhatsApp Image 2022-08-09 at 3.29.02 PM (LBN Fill)




 

  • සියයට 229කින් විදුලි ගාස්තු ඉහල දැමීමට ලංවිම කල යෝජනාව ඉවතට-ගාස්තු ඉහල දැමීම සියයට 75කට සීමා කෙරේ.
  • ගෘහස්ත අංශයේ ඒකක 120 දක්වා සහනාධාර
  • සංචාරක ක්ෂේත්‍රය සදහා මිල වැඩිවීමෙන් සියයට 50ක් ක්‍රියාවට නැගීම මාස 3කට පසුව
  • ඩොලර් මගින් බිල්පත් ගෙවීමේදී 1.5%ක වට්ටමක්
  • වහල මත සවිකල සුර්යබල පද්ධති ප්‍රවර්ධනය සදහා මාසික ස්ථාවර ගාස්තුව ශුද්ධ පරිභෝජනයට සීමා කෙරේ
  • විදුලි ගාස්තුවල සාධාරණභාවය හා විනිවිදභාවය තහවුරු කිරීමට කොන්දේසි
  • පාරිභෝගික ඇප තැන්පතු සදහා පොලී ගෙවීම ඔක්තෝබර් 1 වැනිදා සිට

ගෘහස්ත විදුලි පාරිභෝගිකයින්ට සහන සැළසෙන ආකාරයට නව විදුලි ගාස්තු ක්‍රමයක් සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා‌ කොමිෂන් සභාව අනුමැති ය ලබා දී තිබේ. 2022 අගෝස්තු 10 වන දින සිට නව ගාස්තු බලාත්මක වේ. මේ පිළිබද වැඩිදුර අදහස් දක්වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා

“අපි අවසන් වරට විදුලි ගාස්තු සංශෝධනයක් කලේ 2014 වසරේදී. එහිදීද සියයට 25කින් ගාස්තු අඩු කලා. මේ වසර 9ක කාලය සියළුම භාණ්ඩ හා සේවා වල මිළ ගණන් සැළකිය යුතු ලෙස ඉහල ගොස් තිබෙනවා. විශේෂයෙන්ම විදුලි ජනනය සදහා ආනයනය කරන ෆොසිල ඉංධන වර්ග තුනම සියයට 250කට වැඩි ප්‍රතිශතයකින් ඉහලගොස් ඇත. නමුත් පසුගිය වසර 9 තුලම විදුලි ගාස්තු අපි ස්ථාවර මට්ටමක තබාගැනීමට සමත්වුණා. මේ කාලය තුල ගල් අගුරු මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 143 සිට ඩොලර් 321 දක්වා ඉහල ගොස් තිබේ. රුපියල් වටිනාකමට අනුව ගණනය කල විට එය සියයට 550ක ඉහල යාමකි. ඩීසල් ලීටරයක මිල රුපියල් 121 සිට 430 දක්වා වැඩිවී තිබේ. එය සියයට 255ක වැඩිවීමක්. 2013 දී රුපියල් 90ට පැවති දැවිතෙල් ලීටරයක මිල මේ වන විට රුපියල් 419ක් වේ. සියයට 365ක මිල ඉහලයාමක්. මෙම කාලය තුල ඩොලරයේ අගය රුපියල් 127 සිට 368 දක්වා සියයට 190කින් ඉහල ගොස් තිබේ. මේ හේතුවෙන් විදුලි ඒකකයක් ජනනය කර බෙදාහැරීමේ වියදම රුපියල් 16 සිට රුපියල් 32 දක්වා වැඩි විය. විදුලි ජනනයට අදාල පිරිවැය වැඩීවීමත් සමග ලංකා විදුලි බල මණ්ඩලය සියයට 183%ක හා සියයට 229%ක් වශයෙන් ගාස්තු ඉහල දැමීමේ යෝජනා 2ක් කොමිෂන් සභාවට ඉදිරිපත් කර තිබුණා. මේ යෝජනා 2කම අනුමත කලේ නැහැ. ඒ වෙනුවට සාධාරණ ගාස්තු වැඩිකිරීමකට අපි පියවර ගත් බව කිව යුතු ය. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදන අනුව අපි ගාස්තු අනුමත කිරීමට පෙර මහජන අදහස් ලබාගැනීමට ද ක්‍රියාකලා. මෙම අදහස් හා යෝජනාද සැළකිල්ලට ගෙන සාධාරණ ගාස්තු සංශෝධනයක් අනුමත කිරීමට කොමිෂන් සභාව තීරණය කලේ ය. වර්තමානයේ විදුලි ඒකකයක් ජනනය සදහා රුපියල් 32ක් වැය වුණත් ගෘහස්ත අංශයේ බහුතර පාරිභෝගික පිරිසක් ආරක්ෂා කිරීම සදහා එම සමස්ත පිරිවැය බර ඔවුන් මත පටවා නැහැ. ඒකක 30 වඩා අඩු පරිභෝජනයක් සහිත කාණ්ඩයෙන් තවමත් අය කරන්නෙ පිරිවැයෙන්  සියයට 25ක්. ඔවුන්ට තවමත් සියයට 75ක සහනාධාරයක් ලැබේ. ඒකක 31ට වැඩි 60ට අඩු කාණ්ඩයෙන් අය කරන්නේ සමස්ත පිරිවැයෙන්  සියයට 40ක ප්‍රමාණයක්. ඔවුන්ට සියයට 60ක සහනාධාරයක් ලැබේ. ඒකක 61ට වැඩි 90 ට අඩු කාණ්ඩයෙන් අය කරන්නේ සියයට 50ක ප්‍රමාණයක් පමණයි. එම කාණ්ඩයටද සියයට 50ක සහනාධාරයක් ලබාදේ. ඒ අනුව විදුලි පාරිභෝගිකයින්ගෙන් සියයට 75ක සංඛ්‍යාවකට තවමත් සහනාධාර ලබා දෙන බව කිව යුතු යි. පුනර්ජනනීය විදුලි ජනනය ප්‍රවර්ධනය කිරීම සදහා විදුලි පාරිභෝගිකයින් දිරිමත් කිරීමට ද මේ ගාස්තු තීරණය තුල පියවර ගෙන තිබේ. සුර්ය බල පද්ධති හිමියන් මහජන උපදේශනයේදී පෙන්වා දුන්නේ ඔවුන්ගේ සමස්ත පරිභෝජනය මත මාසික ගාස්තු අයකිරීම අසාධාරණ බවයි. ඒ අනුව ඔවුන්ගේ සමස්ත පරිභෝජනයෙන් ජනනය කළ විදුලි ඒකක ප්‍රමාණය අඩුකල විට ලැබෙන ශුද්ධ පරිභෝජනය මත ස්ථාවර ගාස්තු තීරණය විය යුතු බවට කොමිෂන් සභාව තීරණය කළේ ය. මේ නිසා පරිභෝජනයට වඩා ජනනය කරන ඒකක ප්‍රමාණය වැඩි වන විටදී සුර්ය බල පද්ධති හිමි විදුලි පාරිභෝගිකයින්ට මාසික ස්ථාවර ගාස්තුවක් ගෙවන්න සිදු වන්නෙ නැහැ. ”


විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පැවති මහජන උපදේශනයේදී පුද්ගලයින් ආයතන 1,324ක් අදහස් හා යෝජනා ඉදිරිපත් කර තිබුණි. වාචික අදහස් දැක්වීම සදහා 46 දෙනෙක් සහභාගි විය. මහජනතාව ඉදිරිපත් කල අදහස් මගින් විදුලි පිරිවැයේ සාධාරණභාවය, දැරිය හැකි බව හා විදුලි සංරක්ෂණයේ අවශ්‍යතාව පෙන්වා දී තිබිණ. මේ පිළිබද අදහස් දක්වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා.

“මහජනතාව ඉදිරිපත් කල කරුණු සැලකිල්ලට ගෙන විදුලිබල පනතේ ප්‍රතිපාදන වලට අනුකූලව නව ගාස්තු ක්‍රමය සදහා අනුමැතිය දී තිබෙනවා. ඒ අදහස් යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා ලංකා විදුලිබල මණ්ඩලයට කොන්දේසි පැනවීමට අපි තීරණය කලා. විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් ස්වාධින විගණනයක් කිරීම ඇතුළු කොන්දේසි නිශ්චිත දින වකවානු සහිතව දක්වා තිබෙනවා. එම කොන්දේසි ලබන වසරේ පෙබරවාරි මාසය වන විට සපුරාලිය යුතු යි. ඒ මගින් විදුලි පිරිවැයේ සාධාරණ භාවය සම්බන්ධයෙන් මහජනතාව ඉදිරිපත් කල යෝජනා ක්‍රියාවට නැගිය හැකියි. විදුලිපාරිභෝගිකයින්ගේ ඇප තැන්පතු සදහා පොලී ගෙවීම ලංකා විදුලි පුද්ගලික සමාගම පසුගිය වසරේදී ආරම්භ කළේ ය. ලංකා විදුලි බල මණ්ඩලයද පාරිභෝගික ඇප තැන්පතු මත පොලි ගෙවීම ආරම්භ කල යුතු බවට අපි තීරණය කළා. ඇප තැන්පතු සදහා පොලී ගෙවීම ඔක්තෝබර මාසයේ සිට ආරම්භ කරනු ඇත”

සංචාරක හෝටල් ක්ෂේත්‍රය හා කර්මාන්ත ක්ෂේත්‍රය සදහා සහන සැළසෙන පරිදි නව ගාස්තු සංශෝධනය සකස්කල බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

“පසුගිය වසර 9ක කාලය තුලදී ඩොලරයේ අගය සියයට 190කින් ඉහල ගොස් තිබෙනවා. ඒ නිසා අපනයන ක්ෂේත්‍රයේ කර්මාන්ත වලට මෙම විදුලි ගාස්තු සංශෝධනයෙන් විශාල බලපෑමක් සිදු වන්නෙ නැහැ. කර්මාන්ත, හෝටල් සහ පොදු කාර්ය අංශවල අඩු විදුලි පරිභෝජනයක් ඇති කාණ්ඩ සදහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කල සියයට 116ක ගාස්තු වැඩීවීම වෙනුවට පොදුකාර්ය අංශය සදහා සියයට 39ක වැඩිවීමක් හා කර්මාන්ත අංශය සදහා සියයට 75ක වැඩිවීමක් පමණයි අනුමත කළේ. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය සදහා අනුමත කල ගාස්තු වැඩීවීමෙන් සියයට 50ක් පමණයි අගෝස්තු 10 වැනිදා බලාත්මක වන්නේ. සංචාරක කර්මාන්තය යම් යහපත් තත්වයකට පත්වන තුරු දිරි දීමක් හා සහනයක් වශයෙන් ඉතිරි සියයට 50ක ගාස්තු වැඩීවීම ක්‍රියාවට නැගෙන්නෙ තවත් මාස තුනකට පසුව. ඊට අමතරව සංචාරක මෙන්ම අපනයන කර්මාන්ත වලට සහනයක් වශයෙන් විදුලි බිල්පත් ඩොලර් මගින් ගෙවන විට සියයට 1.5ක වට්ටමක් ලබාදීමටද තීරණය කර තිබේ.

 

ජනක රත්නායක

සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

 

විදුලි ගාස්තු සංශෝධන පසුබිම

 



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව