
චීනයේ නැංචෙන් නුවර පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ කාන්තා ඒකල තරග අංශයේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට රනිත්මා ලියනගේ සමත් වූවාය. ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක ලෝක කනිෂ්ඨ බැඩිමින්ටන් ශූරතාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව ලෙස එය වාර්තාපොතට එක් විය. අවසන් 16 දෙනාගේ තරග වටයේදී ඇය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තුවෙන් ආසියාවේ විශිෂ්ටතම යොවුන් ක්‍රීඩිකාවක වන චීනයේ ෂූ වෙන් ජින් සමඟ තරග බිමට පිවිසීමට නියමිතය.
ඊයේ පැවැති අවසන් 32දෙනාගේ වටයේදී වියට්නාමයේ බිච් පෝංග් බුයි සමඟ තරග වැදුණු 17 හැවිරිදි යොවුන් ක්‍රීඩිකා රනිත්මා ලියනගේ එහිදී ලකුණු 21-13ක්, 12-21ක් සහ 21-16ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වූවාය. ආරම්භයේ සිටම වියට්නාම ක්‍රීඩිකාවගෙන් එල්ල වූ ප්‍රබල අභියෝගයට සාර්ථකව මුහුණ දුන් රනිත්මා පළමු වටයේ ජය වාර්තා කළද, නව තරග සැලසුමකින් යුතුව දෙවැනි වටයට පිවිසි වියට්නාම ක්‍රීඩිකාව ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරතවෙමින් දෙවැනි වටයේ ජය ලැබුවාය.
අනතුරුව තුන්වැනි වටයේ ආරම්භයේදී රනිත්මාට දැඩි තර්ජනයක් එල්ල කළ වියට්නාම ක්‍රීඩිකාව තරගයේ අඩක් නිමා වන විට ලකුණු 11-4කින් පෙරමුණ ගැනීමට සමත්වූවද, විවේක කාලයෙන් පසු සිය දුර්වලතා කදිමට මඟ හරවාගත් රනිත්මා විශිෂ්ට ක්‍රීඩා විලාසයක නිරත වෙමින් තරගයේ ජය වාර්තා කළේ ප්‍රතිවාදී ක්‍රීඩිකාව දැඩි වෙහෙසකටත්, පීඩනයකටත් ඇද දමමිනි.
මෙවර ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ කාන්තා ඒකල තරග අංශයේ පළමු වටයේදී ඉන්දියාවේ වෙනාලා කොලගොට්ලා ලකුණු 16-21ක්, 21-12ක් සහ 21-15ක් ලෙස පරාජය කරමින් දෙවැනි වටයට පිවිසි රනිත්මා ලියනගේ එහිදී අමෙරිකානු ක්‍රීඩිකා වෙරෝනිකා යංග්ට එරෙහිව ලකුණු 21-14ක් සහ 21-16ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් අවසන් 32දෙනාගේ වටයට එක්වූවාය.