
ජාත්‍යන්තර බැඩ්මින්ටන් ඒකල ශ්‍රේණිගත කිරිම්වල අංක 2 ස්ථානයේ පසුවන ඩෙන්මාර්ක් ක්‍රීඩක ඇන්ඩ්‍රිස් ඇන්ටොන්සෙන් සහ ශ්‍රී ලංකාවේ ලාබාලතම ඔලිම්පික් බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ අතර ප්‍රදර්ශනාත්මක තරගයක් මෙම මස 13 වැනිදා වෙළෙඳසේවා බැඩ්මින්ටන් සංගම් ක්‍රීඩාගාරයේදී පැවැත්වේ. ජාත්‍යන්තර බැඩ්මින්ටන් ඒකල ශ්‍රේණිගත කිරීම්වල අංක 2 සහ 66 වැනි ස්ථානයේ පසුවන විරේන් නෙත්තසිංහ අතර පස්වරු 2.00ට ආරම්භ වන මෙම තරගය මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාලෝලීන්ට ජාත්‍යන්තර මට්ටමේ තරගයක් දැක බලාගැනීමේ අවස්ථාව උදා කරනු ඇත.
පසුගිය වසරේ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලට සෘජුව සුදුසුකම් ලැබූ මෙරට ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වූ විරේන් නෙත්තසිංහ සාන්ත පීතර විදුහලේ ආදි සිසුවකු වන අතර, වසර 2019 දී ලෝක කනිෂ්ට බැඩ්මින්ටන් ශුරතාවලියේදි ජාත්‍යන්තර තරග බිමට එක්විය. 2021දී 18 හැවිරිදි ක්‍රීඩකයකු ලෙස ඔහු බංග්ලාදේශයේ පැවැති යොනෙක්ස් සන්රයිසස් බංග්ලාදේශ කනිෂ්ඨ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගත් අතර, 2022 දී උගන්ඩාවේ පැවැති අභියෝගතා තරගාවලියේදී ද ලෝකඩ පදක්කමකට හිමිකම් කීමට සමත් විය.
වසර 2022 දී ජාත්‍යන්තර බැඩ්මින්ටන් ඒකල ශ්‍රේණිගත කිරීම්වල 773 වැනි ස්ථානයේ පසුවූ විරේන් නෙත්තසිංහ 21 හැවිරිදි වියේදී සිය විශිෂ්ට දස්කම් පෙන්නුම් කරමින් ශ්‍රේණිගත කිරීම්වල 22 වැනි ස්ථානය අත්කර ගැනීමට සමත්විය.
තුන්වතාවක් ලෝක බැඩ්මින්ටන් ශූරතා දිනූ ඩෙන්මාර්ක් ක්‍රීඩක ඇන්ඩ්‍රිස් ඇන්ටොන්සෙන් දෙවතාවක් යුරෝපා බැඩ්මින්ටන් ශූරතාව දිනා ගැනීමට සමත්වූ අතර. වර්තමානයේ ජාත්‍යන්තර බැඩ්මින්ටන් ඒකල ශ්‍රේණිගත කිරීම්වල 2 වැනි ස්ථානයේ පසුවෙයි. ඔහු වසර 2015දී යුරෝපීය කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ රන් පදක්කම දිනූ අතර, එම වසරේදීම යුරෝපයේ වසරේ තරුණ ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර විය. වසර 2016දී සහ 2018 දී ඩෙන්මාර්ක ජාතික බැඩ්මින්ටන් කණ්ඩායම සමඟ එක්ව යුරෝපා බැඩ්මින්ටන් කණ්ඩායම් ශුරතා දිනාගත් ඇන්ඩ්‍රිස් වසර 2017, 2019, 2021 සහ 2023 වසරවලදී යුරෝපා මිශ්‍ර කණ්ඩායම් ශුරතා දිනා ගැනීමට ද සමත් විය.
මෙම ප්‍රදර්ශනාත්මක තරගය පැවැත්වීමේ අවස්ථාව උදාවූයේ මෙරට බැඩ්මින්ටන් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන මෙහෙවරක් සිදු කරන සුමිත් ගුරුගේ සහ රොහාන් ද සිල්වා මහත්වරුන්ගේ දායකත්වය තුළිනි. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සහ සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමය ඒකාබද්ධව මෙම තරගය මෙහෙයවනු කරනු ලබයි.