රිට්ස්බරි ‘මව්බිමට වීරයෙක්’ සවිබලය සමඟින් ආසියානු මලල ක්‍රීඩා ශුරතාවලියේදී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ජයග්‍රහණ රැසක්

Image final (LBN)

 



 

 

2023 ජූලි 25, කොළඹ: රිට්ස්බරි, ‘මව්බිමට වීරයෙක්’ වැඩසටහන මඟින් සවිබල ගැන්වූ 13 දෙනෙකුගෙන් යුත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්  පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත් වූ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී වාර්තාගත ජයග්‍රහණ කිහිපයක් සනිටුහන් කිරීමට සමත් විය.

ආසියානු මලල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේ මීටර 800 කාන්තා ධාවන ඉසව්ව විනාඩි 2.00.66 කින් නිම කළ තරුෂි කරුණාරත්න එහි රන් පදක්කම දිනා ගත්තේ නව තරගාවලි වාර්තාවක් සහ ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිටුවමිනි. එහිදී ඇය නව ආසියානු ශූරතා වාර්තාවක් මෙන්ම, කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ අංශවල Asian Leader බවට පත්වීම, දකුණු ආසියානු කනිෂ්ඨ වාර්තාව, ශ්‍රී ලංකා වාර්තාව සහ ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තාව ඇතුළු වාර්තා කිහිපයක් පිහිටුවීමට සමත් වූ අතර මෙය ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ මලල ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක විසින් වාර්තා කරන ලද ඉහළම දක්ෂතාව ලෙස සැලකේ. මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ගයන්තිකා අබේරත්න සමත් විය.

එමෙන්ම තරගාවලියේ මීටර 400X4 පිරිමි සහය දිවීමේ ඉසව්වට සහභාගී වූ අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, රාජිත රාජකරුණා සහ පබසර නිකූ නව තරග වාර්තාවක් සහ නව ශ්‍රී ලංකා වාර්තාවක් සමගින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූහ. මෙම ජයග්‍රහණය හේතුවෙන් ඔවුන් ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලැබීමේ සම්භාවිතාව ඉහළ ගොස් තිබේ.

මේ අතර කාන්තා මීටර් 400×4 සහය දිවීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමටද ශ්‍රී ලංකාව සමත් විය. මෙම තරග ඉසව්වේදී නදීෂා රාමනායක, තරුෂි කරුණාරත්න, සයුරි මෙන්ඩිස් සහ නිශේන්ද්‍රා ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අතර එහිදී ඔවුහු නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමටද සමත් වූහ. තරගාවලියේදී සමස්තයක් ලෙස රන් පදක්කම් තුනක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

වසරකට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15,000 කට අධික සංඛ්‍යාවක් සහභාගිවන ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ අනුග්‍රාහකත්වය 2011 වර්ෂයේ සිට අඛණ්ඩව පවත්වාගෙන එමින් රිට්ස්බරි මෙරට නවක මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා කරළියට ගෙන ඒම සඳහා පුරෝගාමී කාර්යභාරයක් ඉටු කරනු ලබයි.එම අනුග්‍රහකත්වයේම දිගුවක් ලෙසින්, තරගාවලියේදී ඉහළම දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙකුට වාර්ෂිකව මෙම ශිෂ්‍යත්ව පිරිනැමූයේ ඔවුන් ජාතික තලයට ගෙනයෑමේ පරමාර්ථයෙනි. මීට අමතරව 2019 වසරේදී ආරම්භ කරන ලද  රිට්ස්බරි ‘මව්බිමට වීරයෙක්’ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ජාතික තලයේ මළල ක්‍රීඩා තරු 18කට ශිෂ්‍යත්ව පිරිනමනු ලබයි.ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවේ කීර්තිමත් යුගය යළි උදාකරලීමේ මෙහෙවර ක්‍රියාත්මක කිරීම එහි අරමුණ වී ඇත. මෙම වැඩසටහන මේ වනවිට මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය නගාසිටුවීමට මහඟු දායකත්වයක් දක්වන වැඩසටහනක් ලෙස  ඇගයීමට ලක් වී තිබේ.

ආසියානු මලල ක්‍රීඩා තරගාවලියකදී වාර්තා කළ ඉහළම දක්ෂතා පෙන්නුම් කරමින්, පදක්කම් සංඛ්‍යාව අතින් 4 වන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර සමත් වූ අතර ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ක්ෂේත්‍රය නංවාලීම සඳහා රිට්ස්බරි දරන නිරන්තර උත්සාහය සාර්ථක වී ඇති බවට මෙය මනා සාක්ෂියකි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව