රැකියා අපේක්ෂිතයන්ගේ සිහින සැබෑ කරන ‘Sri Lanka Skills Expo 2023’

WhatsApp Image 2023-04-06 at 10.18.23 AM (LBN)

 



 

 

‘Sri Lanka Skills Expo 2023’ ප්‍රදර්ශනය 2023 මැයි මස 12, 13 සහ 14 දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වේ. ප්‍රධාන ආංශික නිපුණතා සභා 5කට අදාළ නව ප්‍රවණතා හා තාක්ෂණයන් පිළිබඳ දැනුම හා ඒ හා සබැඳි අවස්ථාවන් ලබා දෙනු ඇත. මෙය එම ක්ෂේත්‍රවල රැකියාවලට පිවිසීමට අපේක්ෂා කරන්නන්ට ලැබෙන අගනා අවස්ථාවකි. 2016 වසරේදී පිහිටුවන ලද සහ, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව හා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය සහයෝගය යටතේ පවතින ආංශික නිපුණතා සභා මගින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.

ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙල 2023 මැයි 12 දින පෙරවරු 9.00 සිට සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී, අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ප්‍රදර්ශනය පෙරවරු 9.00 සිට පස්වරු 8.00 දක්වා මහජනතාවට විවෘත වන අතර, ඇතුළුවීම සඳහා නොමිලේ. ආංශික නිපුණතා සභාවලට අදාළ කර්මාන්ත නියෝජනය කරන අමාත්‍යවරුන් ඇතුළු තවත් සම්භාවනීය ආරාධිතයන් පිරිසක් සමාරම්භක උළෙලට සහභාගී වනු ඇත. මෙය ජාතික මට්ටමේ සම්මන්ත්‍රණයක් සහ ප්‍රදර්ශනයක් වන අතර, නිපුණතා සහ කුසලතා සම්බන්ධ ජාතික හා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් එකම වේදිකාවකට රැගෙන ඒමට එය සමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉදිකිරීම් කර්මාන්ත නිපුණතා සභාව (CISC), තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත නිපුණතා සභාව (ICTISC), නිෂ්පාදන සහ ඉංජිනේරු ආංශික නිපුණතා සභාව (MESSCO), සංචාරක කර්මාන්ත නිපුණතා සභාව (TISC) සහ කෘෂිකර්මාන්ත ආංශික නිපුණතා සභාව (ASSC) යන ආංශික නිපුණතා සභාවන්ට අදාළ කර්මාන්ත ක්ෂේත්‍රවල නැගී එන තාක්ෂණයන් “Sri Lanka Skills Expo 2023”  තුළ මූලික වශයෙන් ඉදිරිපත් කෙරේ. මෙම කර්මාන්ත සම්බන්ධයෙන් දැනට පවතින කාර්මික පුහුණු වැඩසටහන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත්, රැකියා පුරප්පාඩු සම්බන්ධ දත්ත හුවමාරු කරගැනීමටත්, එම රැකියා සඳහා අයදුම් කිරීමට රැකියා අපේක්ෂිතයන් යොමුකරවීමටත් මෙම ප්‍රදර්ශනය කදිම අවස්ථාවක් වනු ඇත. පෞද්ගලික අංශයේ නිපුණතා සහ ශ්‍රම අවශ්‍යතාවයන් පිළිබඳ දැනුවත් කිරීම මෙහි තවත් අරමුණකි.

ඉහත සඳහන් ක්ෂේත්‍ර 5 ට අදාළ වර්තමාන ප්‍රවණතා සහ එම ක්ෂේත්‍ර තුළ පවතින වෘත්තීය අවස්ථාවන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ වෘත්තීය මගපෙන්වීමේ වැඩසටහන් පෙළක්ද මෙම ප්‍රදර්ශනයට සමගාමීව සංවිධානය කෙරේ. සිසුන්ට සහ රැකියා අපේක්ෂිතයන්ට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා සේවායෝජකයන් හමුවීමට මෙන්ම අදාළ අංශවල පවතින විවිධ වෘත්තීයමය අවස්ථා පිළිබඳව දැනුවත් වීමට මෙය අගනා අවස්ථාවක් වනු ඇත. මේ ඔස්සේ අදාළ ක්ෂේත්‍රවල ප්‍රතිරූපය තවදුරටත් වර්ධනය කරවීමටත්, තාක්ෂණය භාවිතා කිරීම හා නිපුණතා සංවර්ධනය පිළිබඳ උපදේශන සේවා සැපයීමටත්, රැකියා වෙළඳපොළ පිළිබඳ තොරතුරු සහ දත්ත හුවමාරු කරගැනීමටත් සංවිධායකවරු බලාපොරොත්තු වෙති.

මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන, වෙළඳ කුටි හරහා තම නිෂ්පාදන, සේවාවන් හා අවශ්‍යතායන් පිළිබද දැනුවත් කරන ලෙසත්, අදාළ ක්ෂේත්‍රවල රැකියා අපේක්ෂිතයන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමග සමීප සම්බන්ධතා ගොඩනංවාගන්නා ලෙසත් සංවිධායකවරු අදාළ සමාගම්, ආයතන හා සංවිධානවලින් ඉල්ලා සිටිති. වෙළඳ කුටි වෙන්කරවා ගැනීම පිළිබඳ වැඩිදුර තොරතුරු 076 791 6006 දුරකථන අංකය ඔස්සේ ෂෙනාල් ජයසිංහ මහතා සහ 0772730770 සමන්ති ලෙනෝරා මහත්මිය වෙතින් ලබාගත හැක. පාසල් සිසුන්, පාසල් අධ්‍යාපනය අවසන් කළ පුද්ගලයන්, උපාධි අපේක්ෂකයින්, උපාධිධාරීන්, රැකියා විරහිත පුද්ගලයන්, නව රැකියා සොයන්නන්, දෙමාපියන්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ඇතුළු ඕනෑම කෙනෙකුට Sri Lanka Skills Expo 2023 ප්‍රදර්ශනය විවෘත වේ. ප්‍රදර්ශනයේ ආවරණ පරාසය තවදුරටත් පුළුල් කිරීම සඳහා තෝරාගත් රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසකටද ආරාධනා කර ඇති අතර, මින් ඉදිරියට මෙම ප්‍රදර්ශනය වාර්ෂිකව පැවැත්වීමේ හැකියාව සොයාබැලීමටද මෙහි සංවිධායකවරුන් එකඟ වී ඇත. Sri Lanka Skills Expo 2023 සඳහා සිසුන්, ශ්‍රමිකයන් සහ අනෙකුත් පාර්ශවකරුවන් 15,000 ට අධික ප්‍රමාණයකගේ සහභාගිත්වය තෙදින තුලදී අපේක්ෂා කරයි.

Sri Lanka Skills Expo 2023 ප්‍රදර්ශනය මෙරට ක්ෂේත්‍ර රැසක සාමාජිකයන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ට තම අදහස් හුවමාරු කරගැනීමට සහ එම ක්ෂේත්‍රවල නිපුණතා ප්‍රවර්ධනය කිරීමට අගනා අවස්ථාවක් වනු ඇති අතර, ඒ ඔස්සේ එය රටේ ආර්ථික සංවර්ධනයටද කැපීපෙනෙන දායකත්වයක් දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එම නිසා 2023 මැයි මස 12, 13 සහ 14 දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය වෙත පැමිණ, රටේ ආර්ථිකයට ශක්තියක් වන ක්ෂේත්‍ර රාශියක පවතින  නවතම අවස්ථා හා ප්‍රවණතා පිළිබඳව දැනුවත් වන මෙන් සංවිධායකවරු රටේ තරුණ තරුණියන් ඇතුළු සමස්ත මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව