
ජාත්‍යන්තර බැඩ්මින්ටන් පිටියේ අඛණ්ඩව දස්කම් අතරේ සිටින ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩිකා රනිත්මා ලියනගේ සිය මංගල ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලන ලෝක ශූරතාවලියේ කාන්තා ඒකල තරග අංශයේ 32 දෙනාගේ වටයට සුදුසුකම් ලබමින් ස්වර්ණමය මතක සටහනක් ශ්‍රී ලංකාවට අත්කර දුන්නාය.
32 දෙනාගේ වටයේදී ඇය ජාත්‍යන්තර බැඩ්මින්ටන් කාන්තා ශ්‍රේණිගත කිරීම්වල 12 වැනි ස්ථානයේ පසුවන දකුණු කොරියානු ක්‍රීඩිකා සිම් යූ ජින් හමුවේ අධිෂ්ඨානශීලීව ක්‍රීඩා කළද පළමු වට ද්විත්වයම ලකුණු 14-21ක් සහ 16-21ක් ලෙස පරාජයට පත්වූවාය.
තරගාවලියේ ආරම්භක වටය වන 64 දෙනාගේ වටයේදී අයර්ලන්තයේ අත්දැකීම් බහුල ක්‍රීඩිකා රෂේල් ඩැරෆ් සමඟ තරග වැදුණු ජාත්‍යන්තර බැඩ්මින්ටන් කාන්තා ශ්‍රේණිගත කිරීම්වල 111 වැනි ස්ථානයේ පසුවන රනිත්මා පළමු වටය ලකුණු19-21කින් පරාජයට පත්වූවද, දෙවැනි වටය ලකුණු 21-11කින් ජයගත් අතර, තුන්වැනි වටය ලකුණු 11-3කින් පෙරමුණේ පසුවෙද්දී ප්‍රතිවාදී ක්‍රීඩිකාව පිටියෙන් ඉවත්වීම හේතුවෙන් තරගය මිනිත්තු 42කින් නිමාවට පත්වූයේ ජයග්‍රහණය රනිත්මාට හිමිකර දෙමිනි.
මෙම මස 31 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවර අඩිඩාස් ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන බැඩ්මින්ටන් ලෝක ශූරතාවලිය ඔලිම්පික් ක්‍රීඩා උලෙළෙන් පසු වඩාත්ම ආකර්ෂණීය ක්‍රීඩා ඉසව්ව ලෙස සැලකෙන අතර, මෙවර තරගාවලියට රටවල් 54කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 350කට අධික සංඛ්‍යාවක් එක්වී සිටිති.
බලාපොරොත්තු නොවූ ආකාරයෙන් වේලාසනින්ම රනිත්මාගේ ලෝක ශූරතාවලියේ ගමන් මඟ අවසන් වූවත් සිය මංගල ලෝක ශූරතාවලියේදීම ක්‍රීඩිකාවන් 32 දෙනාගේ වටයට පිවිසීම ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්ෂේත්රයේ කැපී පෙනෙන සංධිස්ථානයකි.
YONEX All England කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ කාන්තා ඒකල ශූරතාව දිනා ගනිමින් ලෝක ශූරතාවලියට එක්වූ රනිත්මා ලියනගේ එහිදී සිය දස්කම් තවදුරටත් මුවහත් කර ගැනීමට සමත්වීම ද කැපී පෙනේ.
ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරග බිමේ සිය දස්කම් විදහා දැක්වීමට අඛණ්ඩව සහයෝගයක් ලබාදෙන මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ අනුග්‍රාහකත්වයෙන් බැඩ්මින්ටන් ලෝක ශුරතාවලියට එක්වූ රනිත්මා ලියනගේ ලෝක බැඩ්මින්ටන් පිටියේදී ශ්‍රී ලංකා ධජය ඉහළට ඔසවා තැබීමට සමත්වී සිටී. ඇගේ ජයග්‍රහණය මෙරට බැඩ්මින්ටන් පිටියේ මීළඟ පරපුරට කදිම උත්තේජනයක් සපයා ඇති අතර, ජාත්‍යන්තර බැඩ්මින්ටන් පිටියේදි ශ්‍රී ලංකා නාමය සටහන් කිරීමට ද ඇයට හැකිවී තිබේ.


