කෘෂිකර්මාන්තය හරහා ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනය, රැකියා නියුක්තිය මෙන්ම ග්‍රාමීය ජනතාවගේ ආදායම් මාර්ග සම්පාදනය වෙනුවෙන් ඉටුවන්නේ දැවැන්ත කාර්යභාරයකි.
කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ සේවා ආර්ථිකය ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරමින් තිබෙන අතර, කෘෂිකර්ම අංශයේ ආදායම් වර්ධනය පවතින්නේ පසුගාමී මට්ටමක ය. එනිසා කෘෂිකාර්මික අංශය මුහුණ දෙමින් සිටින අභියෝග කෙරේ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතුව තිබේ. කෘෂිකාර්මික අංශය සංවර්ධනය හා නවීකරණය වෙනුවෙන් විසඳුම් ලබාදිය යුතු අතර, එහිදී ආර්ථික වර්ධනය ඇතිකරමින් හා ග්‍රාමීය ආදායම් වර්ධනය දියුණු කරමින් සෙසු අංශ කරා ව්‍යාප්ත වීම ක්‍රමානුකූලව සිදුකළ යුතුව පවතී.
මෙම පසුබිම තුළ සුළු පරිමාණ ගොවීන්ට වඩාත් තිරසාර, උචිත වූ හා ඵලදායී කෘෂි භාවිතාවක් වෙනුවෙන් ‘Technical Assistance to the Modernisation of Agriculture Programme in Sri Lanka’- TAMAP (ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත නවීකරණය සඳහා තාක්ෂණික සහාය සැපයීමේ වැඩසටහන) ව්‍යාපෘතිය හඳුන්වාදීමට යුරෝපා සංගමය ප්‍රාග්ධන දායකත්වය සපයයි. එමගින් කෘෂිකර්ම ප්‍රසාරණ ව්‍යාපෘතියක් (Overarching Agriculture Policy-OAP) සකස්කිරීමටත්, එය ක්‍රියාත්මක කිරීමේ උපායමාර්ගික සැලැස්ම සඳහා ශ්‍රී ලංකා රජයට සහාය වීමත් අරමුණු කෙරේ.
මෙහිදී, ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන Ecorys Nederland B.V. නම් වූ උපදේශන සමාගම මගින් තීරණාත්මක මැදිහත්වීම් කිහිපයක් තුළින් මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඵලදායීත්ව හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට නියමිත ය.
“ශ්‍රී ලංකාවේ සම්පූර්ණ කෘෂිකර්මාන්ත අංශය ප්‍රතිව්‍යුහගත කරමින් එම ක්ෂේත්‍රය වඩාත් ඵලදායී, සාර්ථක හා තරගකාරී අංශයක් බවට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට ආධාර කිරීම TAMAP ව්‍යාපෘතියේ අරමුණයි. ඉදිරි සති කිහිපය තුළදී OAP සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන්ගේ උපදේශනාත්මක සැසි අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒත් සමඟ එය කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කොට අවසන් අනුමැතිය ලබාගත හැකිවේවි” යනුවෙන් TAMAP කණ්ඩායම් නායක ආචාර්ය ක්‍රිස්ටොෆ් බැට්ස්ලෙන් මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය නවීකරණය කිරීමේදී ප්‍රතිපත්ති සම්පාදකයින් හා ක්‍රියාවට නංවන්නන් මුහුණ දෙන ප්‍රධානම අභියෝගය වන්නේ කෘෂි අංශයේ නියැළෙන්නන් හට දියුණු සමාජ, ආර්ථික ප්‍රතිලාභ අත්පත් කරදීම සහ සෙසු පාර්ශ්ව වෙත වැඩි වටිනාකමකින් යුතු කාර්යයන් කරා ප්‍රවේශවීමේ අවකාශය උදාකිරීම වේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් කෘෂි ආර්ථික විද්‍යාඥ, ආචාර්ය චතුර රොද්‍රිගෝ මහතා මෙසේ පැවසීය. “මෙහිදී අපේ ගොවි ජනතාව සාම්ප්‍රදායික ගොවියාගේ සිට කෘෂි ව්‍යවසායකයෙක් බවට පත්කළ යුතුයි. ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග රැසක් පවතිනවා. එනිසා වගාවේ සිට පාරිභෝගිකයා අතට කෘෂි නිෂ්පාදන පත්වීම දක්වා වූ ක්‍රියාවලිය තුළ කෘෂි අංශය පුළුල් නවීකරණයකට බඳුන් විය යුතුයි”.
මේ අතර OAP විසින් ඉදිරිපත් කර ඇති වැදගත් අංශ 10කට අනුව යමින් විස්තරාත්මක සැලසුම් ද සහිත නවීකරණ සැලසුම් ක්‍රියාවට නැංවීමේ උපාය මාර්ගික සැලැස්මක් ද OAP හා එක්ව සම්පාදනය කිරීමට TAMAP පියවර ගෙන ඇත. ඒ අනුව වැඩමුළු, පැවරුම් හා පුහුණු සැසි කිහිපයක් පවත්වා තිබේ. තව ද සෑම පාර්ශ්වකරුවෙකුගේම අදහස් සැළකිල්ලට ගනිමින් සොයාගත් කරුණු දීර්ඝ සංවාදයකට බඳුන් කර ඇත. විශේෂයෙන්ම මෙම වැඩමුළු හා පුහුණු සැසිවලදී, ගොවි ව්‍යාපාර මාදිලි, ගොවිතැනේදී හා සමාජීය වශයෙන් ගොවීන් මුහුණ දෙන අවදානම් තත්ත්ව ආදිය පිළිබඳ සාකච්ඡා කර තිබේ.
TAMAP මේ දක්වා ක්‍රියාත්මක කර ඇති පැවරුම්, OAP සහ එය ක්‍රියාවට නැංවීමේ උපායමාර්ග සැලසුමට බලපා ඇති අතර, එය පරිපූර්ණ කිරීමට දායක වී තිබෙන බව ද ආචාර්ය බැට්ස්ලෙන් මහතා කීය.
TAMAP හි අරමුණු පිළිබඳව නැවත අවධාරණය කරමින් ආචාර්ය රොද්‍රිගෝ මෙසේ පැවසීය. “මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී තවත් අංශ බොහෝමයක් සමඟ එක්ව කටයුතු කිරීම වැදගත්. ඒ කාරණය නිසාම තමයි මෙහිදී විශේෂ මාර්ගෝපදේශනයක් සහ උපාය මාර්ගික වැඩපිළිවෙලක් අවශ්‍ය වන්නේ. උපාය මාර්ගික සැලැස්මක් භාවිත කිරීමෙන් ආරම්භයේ සිට අවසානය දක්වා යා යුතු මාර්ගය පැහැදිලිව දැකගැනීමටත්, ක්‍රියාවලියේ අරමුණු සහ ක්‍රියාකාරකම් මැනවින් නිශ්චය කරගැනීමටත් අවකාශ උදාවෙනවා. මෙය කෘෂිකර්ම උපායමාර්ගික සැලැස්මක් ලෙස අපි හඳුන්වන්නේ එනිසායි”.
කෘෂිකර්මාන්තය තිරසාර කර්මාන්තයක් බවට පත්කිරීමේදී පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව ද TAMAP කණ්ඩායම විශේෂ අවධානයක් යොමුකර තිබේ. ඒ අනුව මේ වනවිට සිවිල් නිලධාරීන්ට ප්‍රතිපත්ති විශ්ලේෂණය, සැලසුම් කිරීම, අධීක්ෂණය හා ඇගයීම ආදී පියවර පුහුණු කිරීමේ වැඩසටහන් ඔවුහු නිර්මාණය කරමින් සිටිති. මෙම පුහුණු වැඩසටහන් මාලාව මේ වසරේ මාර්තු සිට ඔක්තෝබර් දක්වා ක්‍රියාත්මක වීමට නියමිත ය.
වාණිජ හා අපනයන කේන්ද්‍ර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී, අනාගත ක්‍රියාකාරකම් ඇගැයීම හා නිර්දේශ කිරීම වෙනුවෙන් වර්ධනීය ප්‍රභවයක් ඇති කෘෂි නිෂ්පාදන හඳුනාගැනීම සඳහා විශේෂ අධ්‍යයන අටක් ද TAMAP විසින් සිදුකරනු ලැබ තිබේ. “අපි මේ වනවිට පලතුරු, එලවළු, ජලජ සම්පත්, මී මැසි පාලනය, කිරි, පරිභෝජන තෙල්, තල් සහ මල් වගාව යන අංශ අට පිළිබඳව අධ්‍යයනය කළා. එහි අරමුණ වූයේ, එම කෘෂි නිෂ්පාදනවලට සවියක් ලබාදීම සහ එම ගොවීන්ට නව අවස්ථා සලසාදීමයි” TAMAP හි වටිනාකම් දාම සහ අලෙවිකරණ විශේෂඥ හැන් වැන් ඩි මීරන්ඩොන්ක් මහතා පැවසීය.
මේ අතර රජයේ විද්‍යුත් කෘෂිකර්ම (e-agriculture) වැඩපිළිවෙලට දායකවෙමින්, ඉලෙක්ට්‍රොනික් කෘෂිකර්ම වෙළෙඳපොළක් සැකසීම සඳහා ද TAMAP සහාය හිමිවී තිබේ. “අපේ අවසාන බලාපොරොත්තුව ගොවීන්ට හොඳ කේවල් කිරීමේ හැකියාවක් ලබාදීමයි. අතීතයේදී මෙන් තමන්ගේ කෘෂි නිෂ්පාදනවලට ගැනුම්කරුවා දෙන මුදලක් ලබාගන්නවා වෙනුවට, නිෂ්පාදනයේ මිල ගණන් ගැන සාකච්ඡා කිරීමේ ශක්තිය ඇති ගොවියෙක් අපි නිර්මාණය කළ යුතුයි” ආචාර්ය රොද්‍රිගෝ මහතා සඳහන් කළේය.
ඒ අනුව පසුගියදා ‘ගොවිපොළ’ (Govipola) නමින් කෘෂි නිෂ්පාදන වෙළෙඳ වේදිකාවක් හා වෙළෙඳපොළ තොරතුරු පද්ධතියක් එළිදැක්වුණි. මෙම විශේෂ ඇප් මෘදුකාංගය මගින් සෑම දිනකම, අවශ්‍ය ඕනෑම වෙලාවකදී වෙළෙන්දන් හා සෙසු ගැනුම්කරුවන් හා සම්බන්ධවීමේ අවස්ථාව ගොවි මහතුන්ට උදාවේ. මෙම ඇප් මෘදුකාංගය නිර්මාණය කළ සුරේන් කොහොම්බන්ගේ මහතාට අනුව මේ වනවිට ඇප් එක 25,000ක පමණ බාගත කිරීම් ප්‍රමාණයක් වාර්තා කර ඇත. එහි සක්‍රීය භාවිතාකරන්නන් සංඛ්‍යාව 17,000ක් වන අතර, එහි සාමාන්‍ය භාවිත කාලය මිනිත්තු හයක් යැයි ද හඳුනාගෙන තිබේ.
මෙම ඇප් එකේ ප්‍රයෝජනය පිළිබඳ අදහස් දක්වමින් කොහොම්බන්ගේ මහතා මෙසේ පැවසීය. “සෙසු වෙළෙඳපොළවල් පවතින ස්ථාන අනුව පදනම්ව අප ගමන් කළ යුත්තේ කුමන දිශාවකට ද යන්න පිළිබඳ මාර්ගෝපදේශනයක් අපට TAMAP හරහා ලැබුණා. විශේෂයෙන්ම අලෙවිකරුවාත්, ගැනුම්කරුවාත් හමුවීම, ගනුදෙනුව තීරණය කරගැනීම වගේම ඇප් එකේ වෙළෙඳ යාන්ත්‍රණය සකස්කිරීම වැනි අංශවලදී අපට ඔවුන්ගෙන් ලැබුණු තාක්ෂණික සහයෝගය අති මහත්”.
“ගොවිපොළ (Govipola) ඇප් එක හරහා ගොවි ජනතාව අතරට දැනෙන වෙනසක් ගෙනයන්න අපට හැකිවුණා. රට පුරා විසිරී සිටින ගොවි ජනතාව මෙම ඇප් එක හරහා උනන්දුවෙන් ඒකරාශී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා” ආචාර්ය බැට්ස්ලෙන් මහතා ද පැවසීය.