යුරෝපා සංගමයේ මුල්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන SEDR ව්‍යාපෘතිය, රට පුරා සිටින සමථකරණ සංවර්ධන නිලධාරීන් වෙත ලැප්ටොප් පරිගණක 70ක් භාර දෙයි

British Council (LBN)

 



 

 

යුරෝපා සංගමයේ මුල්‍ය අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ඵලදායීව ආරවුල් නිරාකරණයට සහායවීම (SEDR) ව්‍යාපෘතිය; රට පුරා සිටින (සමථකරණ) සංවර්ධන නිලධාරීන්ගේ පරිපාලන කටයුතු වැඩිදියුණු කිරීම සඳහා ලැප්ටොප් පරිගණක 70ක් භාර දීම හරහා, සමථ මණ්ඩල කොමිෂන් සභාවට (MBC) දැනටමත්, ලබාදෙන සහය වඩාත් විස්තාරණය කළේය.

ගරු. අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ ලේකම් ප‍්‍රියනාත් පෙරේරා, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති විනිසුරු යාපා, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී ලාර්ස් බ්‍රෙඩල්, සහ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා මාර්යා රෙහ්මාන් යන සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාව වර්ණවත් විය.

ඵලදායීව ආරවුල් නිරාකරණයට සහයවීමේ (SEDR) ව්‍යාපෘතිය යනු යුරෝපා සංගමයේ මුල්‍ය අනුග‍්‍රාහකත්වයෙන්, ආසියානු පදනම සමඟ එක්ව බ්‍රිතාන්‍ය කවුන්සිලය මඟින් ක්‍රියාත්මක කෙරෙන වසර හතරක යුක්ති ප‍්‍රවේශ ව්‍යාපෘතියකි. යුරෝ මිලියන 7ක ව්‍යාපෘතියක් වන මෙය, යුරෝපා සංගමය මගින් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කෙරෙන ‘ප්‍රතියෝජන, ප්‍රතිසන්ධාන සහ සියලුදෙනාගේ ප්‍රජාතන්ත්‍රවාදී මැදිහත්වීම ශක්තිමත් කිරීමේ (STRIDE)’ වැඩපිළිවෙලට අයත් එක් අංගයක් වේ.

SEDR හි 4 වන ප්‍රතිඵල ක්‍ෂේත්‍රයෙහි, තොරතුරු තාක්ෂණ උපකරණ සැපයීම තුලින් සමථ මණ්ඩලවල පරිපාලන ක්‍රියාකාරිත්වයට සහාය වීමේ ක්‍රියාකාරකමක් ඇතුළත් වේ. මෙය සිදුකරන්නේ අලුතින් පත් කරන ලද සංවර්ධන නිලධාරීන් විසින් කෙරෙන දත්ත එකතු කිරීමේ ක්‍රියාවලියට සහාය වීමේ අරමුණින් ය. SEDR හි 1 වන ප්‍රතිඵල ක්‍ෂේත්‍රය යටතේ, සමථ මණ්ඩල කොමිෂන් සභාවෙහි වෙබ් අඩවිය වැඩිදියුණු කිරීම සහ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ වඩාත් සුමුදු ක්‍රියාකාරීත්වයට සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට හැකි වන පරිදි මධ්‍යස්ථකරණ දත්ත ගබඩාවක් ගොඩ නැගීම සම්බන්ධයෙන්, දැනටමත් සැලකිය යුතු කාර්යභාරයක් සිදු කර ඇත. මෙම වෙබ් අඩවිය මහජන දැනුවත් කිරීම් සඳහා උපකාරී වනු ඇති අතර, නඩු පැවරීම හා සසඳන විට වියදමින් අඩු සහ තිරසාර විසඳුමක් වන සමථකරණය සඳහා අවශ්‍ය මහජන ප්‍රවේශය වැඩි කරනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී ලාර්ස් බ්‍රෙඩල් මහතා ප්‍රකාශ කළේ “සියලු දෙනාටම යුක්තිය සඳහා ප්‍රවේශය සහතික කිරීමේ උත්සාහයේදී යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සමඟ එක්ව සිටියි. නවීන සමාජයේ සෑම අංශයකම ඩිජිටල්කරණය වඩ වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කරන මේ සමයේ, යුක්ති සේවාවන් ලබාදීම සඳහා ඒවා වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීමට ඉඩ සලසන බැවින්ම, එය අධිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයටද අදාළ වේ. මෙම උපකරණ සැපයීම සමථ මණ්ඩල කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ කාර්යභාරයන් පහසු කිරීමට සහ ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.” යනුවෙනි.

නව සංවර්ධන නිලධාරීන් (සමථකරණ) ඇතුළුව සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලයේ 235 දෙනෙකුගේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අවශ්‍යතා ඇගයීම් සමීක්ෂණයක් 2021 වසරේ දෙවන භාගයේදී අවසන් කරන ලද අතර, SEDR විසින් පත්කරන ලද උපදේශකයෙකු විසින් පුහුණුවීම් අවශ්‍යතා විශ්ලේෂණයක් ද සිදු කරන ලදී. මිලදී ගැනීමට නියමිත තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උපකරණවල ස්වභාවය සහ අවධානය යොමු කළයුතු ප්‍රදේශ පිළිබඳව සමථ මණ්ඩල කොමිෂන් සභාව, අධිකරණ අමාත්‍යාංශය සහ SEDR ඒකාබද්ධ කමිටුවේ එකඟතාවයකට අනුව; හොඳම තේරීම ලැප්ටොප් පරිගණක 70ක් ලබා දීම යන්න තීරණය විය.

බ්‍රිතාන්‍ය කවුන්සිලයේ තොරතුරු තාක්ෂණ කණ්ඩායම විසින් මෙම ලැප්ටොප් පරිගණකවලට මෘදුකාංග (Windows10) ඇතුලත් කිරීමේ කාර්යය සම්පූර්ණ කරන ලදී. එමෙන්ම ඒවා සියල්ලම SEDR සන්නාම සහිතව ආරක්‍ෂිත පරිගණක බෑග් සමඟ ලබාදෙනු ඇත. මෙම ලැප්ටොප් පරිගණක බෙදා හැරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස, SEDR විසින් සමථ මණ්ඩල කොමිෂන් සභාව සහ අධිකරණ අමාත්‍යාංශය සමඟ එක්ව, නව පරිශීලකයින් 70 දෙනාට මෙම නව තාක්ෂණික මෙවලම් සහ මෘදුකාංග වලින් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වන බව සහතික කෙරෙන මාර්ගගත හඳුන්වාදීමේ පුහුණු සැසියක් සැලසුම් කර ඉදිරිපත් කරනු ඇත. තවද, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ නවතම සමථකරණ දත්ත ගබඩාවේ අංගයක් ලෙස මෙම උපකරණ වඩාත් හොඳින් භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව විශේෂිත අවධානය යොමු කෙරෙන අතිරේක මාර්ගගත පුහුණු සැසියක්, නව පරිශීලකයින් වෙනුවෙන් ලබාදීමටත් SEDR සහය වනු ඇත.

 

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව