යාපනය දිස්ත්‍රික් තරුණ පරපුර සවිබලගන්වන ‘කැලණි ශක්ති’ විදුලි කාර්මික පාඨමාලාව නිමා කළ සිසු කණ්ඩායම් දෙකකට සහතිකපත් පිරි නමා අලුත් සිසුන් 200ක් බඳවා ගැනේ.

Kelini Shakthi - Pass out - 23 -Pix 02 (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගම තම ප්‍රමුඛ හා සම්මානනීය සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැලණි ශක්ති’ එක් අවුරුදු විදුලි කාර්මික පාඨමාලාව සාර්ථකව අවසන් කළ සිසු කණ්ඩායම් 2කට එක්වර සහතිකපත් ප්‍රදානයකිරීම යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පසුගියදා සිදු කෙරුණි. කැලණි කේබල්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, මහින්ද සරණපාල, සහකාර ප්‍රධාන විධායක නිලධාරී, ආචාර්ය, අනිල් මුණසිංහ හා යාපනය විශ්ව විද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය, එස්. ශ්‍රීසත්කුනරාජා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සහතිකපත් ප්‍රදානය සිදුවූයේ ‘කැලණි ශක්ති’ විදුලි කාර්මික පාඨමාලාවේ 4 හා 5වන කණ්ඩායම්වල සිසුන් වෙනුවෙනි. විශේෂ ආරාධිතයන් ලෙස මෙම අවස්ථාවට කිලිනෝච්චියේ දිසාපතිනි, ආර්. කේතීෂ්වරන් මහත්මිය හා උතුරු පලාත් විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ඉංජිනේරු, එස්. ප්‍රභාහරන් මහතා විශේෂ ආරාධිත අමුත්තන් ලෙස සහභාගීවූහ. ස්වයං රැකියාවක් ලෙසින් විදුලි කාර්මික ශිල්පය තෝරාගත් හා පාසල් හැරගිය සිසුන් වෙනුවෙන් පැවැත්වෙන මෙම එක් අවුරුදු විදුලි කාර්මික පාඨමාලාව විශ්ව විද්‍යාලීය සහතිකයක් පිරිනමන්නක් වන අතර සිසුන් 200කින් සමන්විත එම පාඨමාලාවේ 6 හා 7වන කණ්ඩායම් බඳවාගැනීමද මෙම උත්සවයේදීම සිදුවිය.

කැළණි කේබල්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, මහින්ද සරණපාල මහතාගේ අනුශාසකත්වය යටතේ මෙම ‘කැලණි ශක්ති’ විදුලි කාර්මික පාඨමාලාව හඳුන්වාදුන්නේ ‘කැලණි සවිය’ හා ‘කැලණි ශක්ති’ වැඩසටහන් හි සම්බන්ධීකාරක ජයන්ත විජේසිංහ මහතා හා යාපනය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ හිටපු පීඨාධිපති, මහාචාර්ය, ඒ. අත්පොතුරාජා මහතා විසින් රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ ව්‍යාපෘතියක් ලෙස 2014 වසරේදීය. නමුත් එයට පෙර 2007 වසරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්ය ජේ.බී. ඒකනායක මහතාගේ සංකල්පයකට අනුව ‘කැලණි සවිය’ එක් අවුරුදු විදුලි කාර්මික පාඨමාලාව ඇරඹුණේ මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාලයක් හා පෞද්ගලික අංශයේ සමාගමක් එක්ව දියත් කළ එම ස්වරූපයේ පළමු සමාජ සත්කාරක වැඩසටහන ලෙසිනි. එය කැලණි කේබල්ස් සමාගමේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ හේමන්ත පෙරේරා හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති මහාචාර්ය එස්.බී.එස්. අබේකෝන් යන මහත්වරුන් අතර අවබෝධාත්මක ගිවිසුමක් අත්සන් කිරීමෙන් ඇරඹුණකි. නමුත් එම ගිවිසුම වසර 2012දී අවසන්වීමට නියමිතව තිබුණද කැලණි කේබල්ස් සමාගමේ වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂ මහින්ද සරණපාල මහතාගේ මැදිහත්වීමෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාලන සපයා මේ දක්වාම අඛණ්ඩව පවත්වාගෙන යන මෙරට සාර්ථක සමාජ සත්කාරක වැඩසටහනක්බවට පත්ව තිබේ.

‘කැළණි ශක්ති’ සමාජ සත්කාරක වැඩසටහනේ සහතිකපත් ප්‍රදානෝත්සවය අමතමින් කැළණි කේබල්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, මහින්ද සරණපාල මහතා පැවසුවේ ‘කැළණි කේබල්ස් සමාගම වසර පුරා විවිධ සමාජ සත්කාරක වැඩසටහන් රැසකට දායකවූවත් මෙම ‘කැළණි ශක්ති’ වැඩසටහන අප සමාගමට සුවිශේෂී වූවක්. එනම් ස්වයං රැකියාවක් ලෙසින් විදුලි කාර්මික ශිල්පය තෝරාගත් සිසු සිසුවියන්ට ගෘහස්ථ හා කාර්මික විදුලි රැහැන් එලීම සම්බන්ධයෙන් අංගසම්පූර්ණ පාඨමාලාවක් සමඟ ජාත්‍යන්තරය පිළිගත් සහතික ලබාදී මෙරට තරුණ පරපුරට ජීවිතාලෝකය ලබාදීමට හැකිවීම දේශීය සමාගමක් ලෙසින් අපට ආඩම්බර විය හැක්කක් බවය. මෙම අවස්ථාවේදී සහතික හිමි වූ යෞවනයන්ට මෙම දැනුමෙන් රටට සේවයකිරීමට හා තම ජීවිත සාර්ථක කරගැනීමට හැකිවේවා යැයි මම ප්‍රාර්ථනා කරනවා.’ යන්නය.

‘කැලණි ශක්ති’ සහතික ප්‍රදානයට එක්වූ යාපනය විශ්ව විද්‍යාලයේ උප කුලපති, ගණිතය පිළිබඳ මහාචාර්ය, එස්. ශ්‍රීසත්කුනරාජා පැවසුවේ, ‘ව්‍යාපාරික ප්‍රජාව මෙරට පුරවැසියන්ට ඵලදායි හා වටිනා සමාජ සත්කාරක බොහොමයක් සිදුකරන අතර විවිධ දුෂ්කරතා හේතුවෙන් ඒවා සීමාවන්නේ කොළඹට ආසන්න ප්‍රදේශවලට පමණයි. නමුත් කැලණි කේබල්ස් සමාගම යාපනය දිස්ත්‍රික්කයේ තරුණයන්ගේ ජීවිත ආලෝකමත් කළ හැකි විදුලි කාර්මික පාඨමාලාවක් රැගෙන මෙහි පැමිණීම අපූරු වගකීමක් ඉටුකිරීමක්. එය වෙනුවෙන් මුළු උතුරු පලාතේම ගෞරවය එම සමාගමට හිමිවිය යුතුයි. තවද අප විශ්ව විද්‍යාලයද මෙම වැඩසටහන කාලීන වටිනාකම් එක් කරමින් වඩාත් අංගසම්පූර්ණ කරන්නේ කැලණි කේබල්ස් සමාගම අපට දැක්වූ සහයෝගයට ගෞරවයක් ලෙසිනුයි.’ යන්නය.

මෙම සහතිකපත් ප්‍රදානෝත්සවයට ආරාධිතයෙකු ලෙසින් සහභාගීවූ කිලිනොච්චි දිසාපතිනි ආර්. කේතීෂ්වරන් මහත්මිය පැවසුවේ ‘කැලණි ශක්ති’ වැඩසටහන ඉතා සුවිශේෂී සමාජ සත්කාරයක් වන්නේ එමගින් වෘත්තීය නිපුණත්වය උදෙසා අසාමාන්‍ය ප්‍රායෝගික හා න්‍යයාත්මක දැනුමක් ජාතික විශ්ව විද්‍යාලයකින් නොමිලේ ලබාදීමෙන් බවය. එමෙන්ම අප කවුරුත් වැඩිදුර අධ්‍යාපනය ලැබීමට විශ්ව විද්‍යාලයකට ඇතුලුවීමට ප්‍රියකරන නමුත් ඒ සඳහා අවස්ථාව ලැබෙනුයේ ඉතා සුලු පිරිසකට බවද ඇය පැවසුවාය. නමුත් උතුරේ දරුවන්ට ‘කැලණි ශක්ති’ සමාජ සත්කාරක වැඩසටහන මගින් එම අවස්ථාව උදාකරදී තිබීමෙන් එහි උපරිම ප්‍රයෝජන ලැබීම දරුවන්ගේ වගකීමක් බව ඇය තවදුරටත් පැවසුවාය.

සහතිකපත් ප්‍රදානයකිරීමේ අවස්ථාවට එක්වූ කැලණි කේබල්ස් සමාගමේ අලෙවි කළමනාකරු, චන්න ජයසිංහ මහතා පැවසුවේ ‘ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආරක්ෂිත වයර් නිෂ්පාදකයන් ලෙස කැලණි කේබල්ස් සමාගමේ තේමාව වන්නේද ‘පළමුව ආරක්ෂාව’ යන්නයි. එහෙයින් විදුලි රැහැන් යොදා සිදුකරන සියලු ඉදිකිරීම්වල ඉහළම ආරක්ෂිතබව තිබිය යුතුබව අප සමාගම තරයේ විශ්වාස කරන්නක්. එහි එක් පියවරක් ලෙස අප විදුලි කාර්මික සමාජය තුළින් මෙරට විදුලි කාර්මිකයන්ට විදුලි රැහැන් එලීම සම්බන්ධයෙන් නවතම දැනුම නිරන්තරයෙන්ම සපයනවා. එමෙන්ම ‘කැලණි ශක්ති’ හා ‘කැලණි සවිය’ වැඩසටහන් තුළින් විශ්ව විද්‍යාලීය දැනුම සපයන්නේද ‘පළමුව ආරක්ෂාව‘ යන්න තේමාව කරගත් මෙරට හා විදේශීය රටවලට අවශ්‍ය දැනුමෙන් පිරිපුන් විදුලි කාර්මිකයන් බිහිකිරීමේ අරමුණෙන්.’ යන්නය.

සහතිකපත් ප්‍රදානෝත්සවයේ තවත් සුවිශේෂී අවස්ථාවක් වූයේ ‘කැලණි ශක්ති’ වැඩසටහන උතුරේ ජනතාවට හඳුන්වාදී පුරා වසර 8ක් එය අඛණ්ඩව පවත්වාගෙන යෑමෙන් උතුරේ තරුණයන්ට දෙපයින් නැගී සිටීමට කැලණි කේබල්ස් සමාගම දැක්වූ උතුම් සමාජ මෙහෙවර උදෙසා කැලණි කේබල්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, මහින්ද සරණපාල හා නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී, ආචාර්ය, අනිල් මුණසිංහ යන මහත්වරුන්ට උතුරේ ජනතා උපහාරය හා ඉහළම ගෞරවය පිදීම සංකේතවත් කරමින් හින්දු චාරිත්‍රානුකුලව ඔවුන්ගේ කරවටා රන්වන් සේලයන් විශ්ව විද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය, එස්. ශ්‍රීසත්කුනරාජා මහතා විසින් පළඳවනු ලැබීමය.

කැලණි කේබල්ස් සමාගමේ සහකාර සාමාන්‍යාධීකාරී (වෙළෙඳ) රැල්ෆ් රොෂාන් රාජසුන්දරම් මහතා පැවසුවේ, ‘අප කැලණි කේබල්ස් සමාගම අනාගතය දකින සමාගමක්. මෙම සමාජ සත්කාරක වැඩසටහනද එසේ රටේ අනාගතය රැකියා හිඟය දුටු අවස්ථාවක් සේ සැලකිය හැකියි. අප වර්තමානය වන විටත් කුසලතාපූර්ණ විදුලි කාර්මිකයන්ගේ හිඟයක් පවතිනවා. වසර 2030වන විට එම අවශ්‍යතාව සිව්ගුණයකින් වැඩිවෙනවා. එහෙයින් මෙම පාඨාමාලාවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම සහතිකපත් ලැබූ සිසුන්ගේ වගකීමක්.’ යන්නය.

යාපනය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පැවැති ‘කැලණි ශක්ති’ සහතිකපත් ප්‍රදානෝත්සවය, 6 හා 7වන සිසු කණ්ඩායම් බඳවාගැනීමේ අවස්ථාවට එක්වූ කිලිනෝච්චියේ දිසාපතිනි, ආර්. කේතීෂ්වරන් මහත්මිය, ඉංජිනේරු පීඨයේ පීඨාධීපති, ආචාර්ය, කේ. පිරපහරන් හා උතුරු පලාත් විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ඉංජිනේරු, එස්. ප්‍රභාහරන් මහතාද සභාව ඇමතූහ.

යාපනය විශ්ව විද්‍යාලයේදී පැවැති සහතිකපත් ප්‍රදානයට කැලණි කේබල්ස් සමාගම නියෝජනය කරමින් ප්‍රධාන මෙහෙයුම් කළමනාකරු, උපුල් මහානාම, ‘කැළණි ශක්ති/කැලණි සවිය’ වැඩසටහනේ සම සමාරම්භක හා සම්බන්ධීකාරක ජයන්ත විජේසිංහ යන මහත්වරුද සහභාගීවූ අතර යාපනය විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් විදුලි හා ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී, මහාචාර්ය, කේ අහිලාන්ද සහභාගීවුහ.

100%ක්ම දේශීය සමාගමක් වන කැළණි කේබල්ස් සමාගම, ගෙවුණු 53 වසර පුරා දෙස් විදෙස් හි පිරිනැමෙන බොහෝ තත්ත්ව සහතික රැසකට හිමිකම් කී සමාගමකි. ඒ අතර ISO 9001 තත්ත්ව කළමනාකරණ පද්ධති හා ISO 14001 පරිසර කළමනාකරණ සහතිකය ලබා ඇත. එමෙන්ම එම සමාගම ගෞරවනීය සම්මාන රැසක් දිනාගෙන ඇත. ඒ අතර 2017 හා 2019 වසරවලදී World Class Global Performance Excellence Awards සම්මානයෙන්ද පිදුම් ලැබූ කැලණි කේබල්ස් සමාගම වසර 2012, 2013, 2016, 2017 හා 2019 යන වසරවලදී SLIM Brand Excellence හි B2B අංශයේ රන් සම්මානය, 2018 2018 SLIM Brand Excellence හි B2B අංශයේ රිදී සම්මානය කැලණි කේබල්ස් සමාගම දිනාගත්තේය. තවද 2015 හා 2018දී SLIM Brand Excellence සම්මාන උළෙලේදී විශිෂ්ටතම ආයතනික සමාජ සත්කාරක වෙළෙඳනාමය ලෙසින් රීදී සම්මානය දිනාගත් කැලණි කේබල්ස් සමාගම වසර 2016දී සමාජ කතිකා හා වැඩපොල සහයෝගීතා රන් සම්මානය හා National HR Excellence රීදී සම්මානයෙන් පිදුම් ලැබීය. එමෙන්ම එම වසරේදීම ‘ජනාධිපති පරිසර සම්මාන උළෙල – 2016 දී ^Presidential Environmental Awards& විශිෂ්ටතම හරිත වාර්ථාකරණය වෙනුවෙන් පිරිනැමෙන රන් සම්මානය හා ව්‍යාපාරික විශිෂ්ටත්වය වෙනුවෙන් පිදෙන ජාතික තත්ත්ව සම්මානය හිමි කරගැනීමට සමත්විය. තවද 2015 හා 2016 වසරවලදී ‘ආසියාවේ විශිෂ්ටතම සේවායෝජක සන්නාම සම්මානය’ හිමිකරගැනීමටද කැලණි කේබල්ස් සමාගම සමත්විණ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + 16 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව