
2021 පෙබරවාරි 24, කොළඹ: 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන මොණරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කරතා සහිත පවුල්වල දූදරුවන් වෙනුවෙන් රුපියල් මිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් පොත් බෑග් දහසක් පිරිනැමීමට කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම පසුගිය දා කටයුතු කරන ලදී. දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා විසින් මොණරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කර ඇති “දිනමු” වැඩසටහනෙහි එක් ව්‍යාපෘතියක් ලෙස සිදු කෙරෙන පාසල් උපකරණ බෙදා දීමට සමඟාමීව සිදු කල මෙම පරිත්‍යාගය රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා විසින් කොළඹ වරාය නගරය පරිශ්‍රයේ සංවිධානය කර තිබූ උත්සවයේ දී නිල වශයෙන් භාර ගැනීම සිදු විය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරීන් මෙන් ම කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ විධායක ව්‍යාපෘති කළමනාකරණ අධ්යක්ෂ රාජා එදිරිසුරිය, කොළඹ වරාය නගර සමාගමේ සහකාර කළමනාකාර අධ්යක්ෂ යුවේ යේචිං, එම සමාගමේ වෙළඳ හා අලෙවි අධ්යක්ෂ යමුනා ජයරත්න සහ එහි මහජන සම්බන්ධතා ප්‍රධානි කස්සප සෙනරත්, යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.
මෙහි දී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා රටේ අනාගතය භාර ගැනීමට සිටින දුවා දරුවන් වෙනුවෙන් ඉදිකෙරන වරාය නගරය තුළින් ඔවුන් අනාගත ලෝකයේ අන් රටවල් සමඟ තරගකාරීව ශක්තිමත්ව මුහුණ දීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය වනු ඇතැයි විශ්වාසය පළ කළේ ය. දරුවන් වෙනුවෙන් යහපත් අනාගතයක් උරුම කර දීම අප සැමගේ වගකීමක් වන බව අවධාරණය කළ අමාත්‍යවරයා ඒ වෙනුවෙන් අද දවසේ කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම ශ්‍රී ලංකාවේ දුෂ්කරම දිස්ත්‍රික්කයක් ලෙස සැලකෙන මොණරාගල දිස්ත්‍රික්කයේ මේ වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන දූ පුතුන් වෙනුවෙන් ලබා දුන් පරිත්‍යාගය පිළිබඳ සිය කෘතඥතාව පළ කළේය.
කොළඹ වරාය නගර සමාගමේ වෙළඳ හා අලෙවි අධ්යක්ෂ යමුනා ජයරත්න මහත්මිය අදහස් දක්වමින් සඳහන් කළේ වරාය නගර ව්‍යාපෘතිය හෙට දවසේ දකුණු ආසියාවේ ජගත් මුවදොර ලෙස ඔසවා තබනේද, අද දවසේ කුඩා දූදරුවන් ලෙස කෙළිදෙලින් පසුවන සිසු දරුවන් නිසාවෙන් වරාය නගරය සැමවිටම ඔවුන් වෙනුවෙන් අද දවසේ ඉටු විය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කරන්නට කැපවී සිටියි. ඉදිරියේදීත් ශ්‍රී ලාංකීය දූදරුවන් වෙනුවෙන් වූ මෙවැනි කටයුතු සදහා සහය දැක්වීමට කොළඹ වරාය නගරය නිරතුරුව කැපවී සිටින බව ද ඇය සඳහන් කළාය.
පරිත්‍යාගයෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස කොළඹ වරාය නගර ඉදිකිරීම් භූමියේ සංචාරයක නිරත වූ අතර එහි වත්මන් ප්‍රගතිය පිළිබඳ ව දැනුවත් කෙරිණි.
කොළඹ වරාය නගර පිළිබඳව
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යනු වත්මන් කොළඹ මධ්‍යම වාණිජ කලාපයේ දිගුවක් ලෙසින් අලුතින්ම ඉදිවන මූලික ආයෝජනය ඇමරිකානු ඩොලර් 1.4 ක් සහ සමස්ත ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 15 ක් වන නව්‍යතම නගර සංවර්ධන ව්‍යාපෘතියකි. මුහුද ගොඩ කිරීමෙන් බිහිකරන හෙක්ටයාර 269 ක මෙම අලුත්ම භූමි ප්‍රමාණය වත්මන් කොළඹ වාණිජ කලාපයට සහසම්බන්ධීය කෙරේ.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, මූල්‍ය කලාපය, මධ්‍යම උද්‍යාන වාසය, ජාත්‍යන්තර දිවයින, යාත්‍රාංගනය හා දූපත් වාසය ලෙස අනු කලාප 5 කින් නිර්මිතයි.
ඉදිකිරීම් අවසන් වූ විට කොළඹ වරාය නගරය, වර්ග මීටර මිලියන 5.7 ක් වූ භෞමික අවකාශයක නිර්මාණය වුණු ලොව උසස්ම මට්ටමේ A ශ්‍රේණිගත කාර්යාල සංකීර්ණ, අති නවීන සෞඛ්‍ය සේවා, ප්‍රමිතිගත අධ්‍යාපන සේවා පහසුකම්, බහුවිධ සේවා පහසුකම්, සැහැල්ලු යාත්රාංගණ, සුපිරි සාප්පු සංකීර්ණ, හෝටල් සහ විනෝදාස්වාදය සැපයීම සඳහා වෙන්වුණු විශේෂිත පහසුකම් වලින්ද සමන්විතයි. නූතන පරිසර හිතකාමී තිරසාර නගර සංකල්පය සහ සුහුරු නගර සංකල්පය අනුව ඉදිවන කොළඹ වරාය නගරය දකුණු ආසියාවේම කේන්ද්‍රීය මධ්‍යස්ථානය වනු ඇත.