මෙහෙයුම් ශක්තිමත් කොමර්ෂල් බැංකු සමූහය විචක්ෂණශීලී ලෙස ප‍්‍රතිපාදන වෙන්කරමින් ශක්තිමත් ආදායම් වර්ධනයක් වාර්තා කරයි

Commercial Bank Chairman Prof. Ananda Jayawardane & Managing Director and CEO Mr Sanath Manatunge - Composite (LBN)

 



 

 

පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද කොමර්ෂල් බැංකු සමූහය 2022 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන මාස 09 ක කාලය තුළදී හා තුන්වන කාර්තුවේදී ශක්තිමත් මෙහෙයුම් කාර්ය සාධනයක් වාර්තා කිරීමට සමත්ව තිබේ. පවතින තත්ත්වය හමුවේ සලකා බලන මාස 09 ක කාලය සඳහා වැඩි හානි පූරණ ප‍්‍රතිපාදන වෙන් කිරීමට සිදුවී තිබෙන අතර ඒ හේතුවෙන් මාස 09 ක කාලයේදී සහ තුන්වන කාර්තුවේදී පසුගිය වසරේ අදාළ කාල වලට සාපේක්ෂව සමූහයේ ලාභයද අඩුවී ඇත.

කෙසේවෙතත්, මූල්‍ය සේවා මත අගය එකතු කිරීමේ බදු අයකිරීමට පෙර දෙවන කාර්තුවේදී බැංකුව වාර්තාකළ රුපියල් බිලියන 3.581 ක මෙහෙයුම් අලාභය මගහරවා ගැනීමට බැංකුව තුන්වන කාර්තුවේදී සමත්වී තිබේ.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශන වලට අනුකූලව ආර්ථික අර්බුදයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර වලට සහ පුද්ගලයින්ට සහන දීමෙන් පසුව සහ ණය පහසුකම් වල ආපසු ගෙවීමේ කොන්දේසි ලිහිල් කිරීම, ණය සහනය යටතේ සුදුසුකම් ලැබූ ණය සඳහා සහන පොලී අනුපාත ලබාදීම, සමහර ගාස්තු ඉවත් කිරීම යන සහන සහ බැංකුවේම සහන වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමෙන් පසුව මෙම ඉහළ මූල්‍ය කාර්ය සාධනය ලබාගෙන තිබීම කැපී පෙනෙන බව බැංකුව සඳහන් කරයි.

මේ අනුව, කොමර්ෂල් බැංකුව සහ එහි අනුබද්ධ සමාගම් ඇතුළත් වන කොමර්ෂල් බැංකු සමූහය 2022 මුල් මාස 09 තුළදී රුපියල් බිලියන 195.573 ක දළ ආදායමක් වාර්තා කර තිබෙන අතර තුන්වන කාර්තුව තුළදී රුපියල් බිලියන 76.056 ක දළ ආදායමක් වාර්තා කර ඇත. මෙය පසුගිය වසරේ අදාළ කාල සමග සැසඳීමේදී 62.91% ක සහ 89.58% ක ශක්තිමත් වර්ධනයකි.

මේ අතර, සලකා බලන මාස 09 ක කාලය තුළදී ශුද්ධ පොලී ආදායම 32.15% කින් වර්ධනය වී රුපියල් බිලියන 62.814 ක්වී තිබෙන අතර තුන්වන කාර්තුව සඳහා ශුද්ධ පොලී ආදායම 34.97% කින් වර්ධනය වී රුපියල් බිලියන 22.101 ක්වී තිබේ.

ලාභය සහ අනිකුත් දර්ශක වලට බාහිර අභියෝග අඛණ්ඩවම තුන්වන කාර්තුවේදීත් සිදුකර තිබෙන බලපෑම පිළිබඳව කොමර්ෂල් බැංකුවේ සභාපති, මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා මෙසේ අදහස් දැක්වීය. ‘ව්‍යාපාරික පරිමාව තුළින් අපි ලබා තිබෙන වර්ධනය තුළින් ප‍්‍රධාන බැංකුකරණ මෙහෙයුම් කටයුතු ස්ථාවරව තිබෙන බව දිස්වෙනවා. අපගේ ලාභදායීතාවයට බලපා තිබෙන ලොකුම සාධකය බවට පත්වී තිබෙන්නේ හානි පූර්ණ ප‍්‍රතිපාදන සඳහා ඉහළ මුදල් ප‍්‍රමාණයක් වෙන්කිරීමට සිදුවීමයි. පවතින ආර්ථික අර්බුදය නිසා මෙය නොවැලැක්විය හැකි තත්ත්වයක්. බැංකුව අනාගත අර්බුද වලට සූදානම් බවට මෙවැනි ඉහළ හානි පූර්ණ ප‍්‍රතිපාදන වෙන්කිරීම මගින් අපේ පාර්ශවකරුවන්ට විශ්වාසයක් ලබාදී තිබෙනවා.’

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා මෙම නවතම මූල්‍ය වාර්තා පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. ‘මෙම ප‍්‍රතිඵල මගින් පෙන්නුම් කරන්නේ කොමර්ෂල් බැංකුව විශේෂයෙන්ම බැංකු අංශය මුහුණ දෙමින් සිටින අවධානම් අඛණ්ඩවම හොඳින් කළමනාකරණය කර තිබෙන බවයි. එසේම, බැංකු අනුකූලතාවයන් වර්ධනය කර ගනිමින් ණය පොතේ ගුණාත්මක තත්ත්වය පවත්වාගැනීමේ, පොලී අනුපාතය සහ ද්‍රවශීලතාවය කළමනාකරණය කර ගැනීමේ අපගේ දැක්ම අපි අඛණ්ඩවම ආරක්ෂා කරගෙන තිබෙනවා. අරමුදල්වල පිරිවැය වර්ධනයවීම වැලැක්විය නොහැකියි. කෙසේවෙතත්, ගාස්තු පදනම් කරගත් ආදායම් වර්ධනය කර ගැනීමටත් පොලී නොවන වියදම් පිළිගත හැකි මට්ටමක පවත්වා ගැනීමටත් අපි ගත හැකි සෑම පියවරක්ම අරගෙන තිබෙනවා.’

කොළඹ කොටස් වෙළෙඳපොළට ඉදිරිපත් කර තිබෙන මූල්‍ය වාර්තා වලට අනුව කොමර්ෂල් බැංකු සමූහය සලකා බලන මාස 09 ක කාලය තුළදී රුපියල් බිලියන 103.837 ක සමස්ත මෙහෙයුම් ආදායමක් වාර්තා කර තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී 50.59% ක වර්ධනයකි. එසේම, 2022 තුන්වන කාර්තුව සඳහා මෙම අගය රුපියල් බිලියන 34.605 ක් වන අතර එය පෙර වසරේ අදාළ කාර්තුව සමග සැසඳීමේදී 53.07% ක ශක්තිමත් වර්ධනයකි.

සලකා බලන මාස 09 ක කාලය සඳහා හානි පූරණ ගාස්තු සහ අනිකුත් අලාභ සඳහා සිදුකළ ප‍්‍රතිපාදන වෙනුවෙන් රුපියල් බිලියන 52.272 ක් වෙන්කර තිබෙන අතර එය 2021 මුල් මාස 09 කට සාපේක්ෂව රුපියල් බිලියන 34.274 කින් හෙවත් 190.44% කින් වර්ධනය වී ඇත. 2021 වසරේ මුල් මාස 09 සඳහා මේ වෙනුවෙන් වෙන්කර තිබුණේ රුපියල් බිලියන 17.997 ක මුදලකි.2022 තුන්වන කාර්තුව තනිව ගත්කළ හානි පූර්ණ ගාස්තු සාමාන්‍යයෙන් හතර ගුණයකින් වර්ධනය වී රුපියල් බිලියන 17.053 ක්වී තිබෙන අතර එය පෙර වසරේ තුන්වන කාර්තුවේදී රුපියල් බිලියන 4.343 ක් විය. මෙහිදී, කැපී පෙනෙන්නේ හානි පූරණ ගාස්තු වලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාවේ ස්වෛරීත්ව වර්ගීකරණය පහළ දැමීම සහ රජය විසින් සිදුකරමින් තිබෙන ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන නිසා විදේශ මුදල් වලින් තිබෙන රජයේ සුරැකුම්පත් වෙනුවෙන් වෙන්කර තිබීමයි.

මේ ආකාරයෙන් හානි පූරණ ගාස්තු වැඩිවීම නිසා සලකා බලන මාස 09 ක කාල සීමාව තුළදී ශුද්ධ මෙහෙයුම් ආදායම වර්ධනය වී තිබෙන්නේ 1.20% කින් රුපියල් බිලියන 51.566 ක් දක්වා පමණි. එය තුන්වන කාර්තුවේදී 3.9% කින් පහළ යමින් රුපියල් බිලියන 17.552 ක්වී ඇත.

මේ අතර, සලකා බලන මාස 09 ක කාලය තුළදී මෙහෙයුම් වියදම් 22.26% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 26.017 ක්වී තිබෙන අතර තුන්වන කාර්තුවේදී මෙහෙයුම් වියදම් 10.90% කින් වර්ධනය වී රුපියල් බිලියන 7.985 ක්වී තිබේ. මෙසේ වියදම් වැඩිවීමට ප‍්‍රධාන හේතුවී තිබෙන්නේ උද්ධමනය වැඩිවීම, රුපියල අවප‍්‍රමාණය වීම, සහ රජයේ බදු වැඩිවීමයි. මේ හේතුවෙන් සලකා බලන මාස 09 ක කාලය තුළදී කොමර්ෂල් බැංකු සමූහයේ මූල්‍ය සේවා මත අගය එකතු කිරීමේ බදු ගෙවීමට පෙර මෙහෙයුම් ලාභය 13.90% කින් පහළ ගොස් රුපියල් බිලියන 25.549 ක්වී තිබෙන අතර තුන්වන කාර්තුවේදී 13.53% කින් පහළ ගොස් රුපියල් බිලියන 9.567 ක්වී තිබේ.

මේ අතර, මූල්‍ය සේවා මත අගය එකතු කිරීමේ බදු 23.81% කින් රුපියල් බිලියන 3.511 ක් දක්වා අඩුවී තිබෙන අතර සමූහය සලකා බලන මාස 09 ක කාල සීමාව තුළදී බදු වලට පෙර රුපියල් බිලියන 22.036 ක ලාභයක් වාර්තා කර ඇත. මෙය 2021 වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී 12.09% ක පහළ යාමකි.

එසේම, සලකා බලන මාස 09 ක කාල සීමාව තුළදී සමූහයේ බදු වලට පසු ලාභය රුපියල් බිලියන 15.460 ක්වී තිබෙන අතර එය පසුගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී 18.70% ක පහළ යාමක් ලෙස වාර්තා වේ.2022 තුන්වන කාර්තුවේදී කොමර්ෂල් බැංකු සමූහය රුපියල් බිලියන 6.283 ක ශුද්ධ ලාභයක් වාර්තා කර තිබෙන අතර එය පෙර වසරේ තුන්වන කාර්තුව සමග සැසඳීමේදී 5.72% ක පහළ යාමකි. මේ අතර, කොමර්ෂල් බැංකුව වෙන්ව ගත්විට සලකා බලන මාස 09 ක කාලය තුළදී බදු වලට පෙර රුපියල් බිලියන 20.649 ක ලාභයක් ලබා තිබෙන අතර එය 15.46% ක පහළ යාමක් බව බැංකුව සඳහන් කරයි. එසේම,2022 තුන්වන කාර්තුව තුළදී කොමර්ෂල් බැංකුව බදු වලට පසුව රුපියල් බිලියන 14.438 ක ලාභයක් වර්තා කර තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාර්තුවට සාපේක්ෂව 22.40% ක පහළ යාමකි.

සලකා බලන මාස 09 තුළදී කොමර්ෂල් බැංකු සමූහයේ සමස්ත වත්කම් රුපියල් බිලියන 406.810 කින් හෙවත් 20.51% කින් වර්ධනය වී 2022 සැප්තැම්බර් 30 වනදා වනවිට රුපියල් ටි‍්‍රලියන 2.390 ක්වී ඇත.

මේ අතර, 2022 සැප්තැම්බර් 30 වනදා වනවිට සමූහයේ දළ ණය සහ අත්තිකාරම් 13.48% කින් හෙවත් බිලියන 147.574 කින් වර්ධනය වී රුපියල් ටි‍්‍රලියන 1.243 ක්වී තිබේ.

2022 මුල් මාස 09 තුළදී සමූහයේ සමස්ත තැන්පතු ප‍්‍රමාණය 25.86% කින් හෙවත් රුපියල් බිලියන 380.829 කින් වර්ධනය වී 2022 සැප්තැම්බර් 30 වනදා වනවිට රුපියල් ටි‍්‍රලියන 1.853 ක්වී තිබේ.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + nine =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව