
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ නව සභාපතිවරයා ලෙස රොෂාන් ගුණවර්ධන මහතා නිතරගයෙන් පත්වීමට නියමිතය. බැඩ්මින්ටන් ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු වන රොෂාන් ගුණවර්ධන මහතා වසර 2025 සිට 2027 දක්වා දෙවසරක කාලයක් සඳහා සභාපතිවරයා ලෙස පත්වීම ලබන 24 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැත්වෙන බැඩ්මින්ටන් ආයතනයේ වාර්ෂික මහ සභාවේදී සිදු වනු ඇත. බැඩ්මින්ටන් ආයතනයේ සෙසු නිලධාරි මඬුල්ල ද එදින යළි සිය තනතුරුවලට පත්වීමට නියමිතය.
බැඩ්මින්ටන් ආයතනයේ වත්මන් සභාපතිවරයා වන රොහාන් ද සිල්වා පෞද්ගලික හේතුන් සහ කාර්යබහුල ව්‍යාපාරික කටයුතු හේතුවෙන් සභාපතිධුරයෙන් ඉවත්වන බව මීට මාස කිහිපයකට පෙර බැඩ්මින්ටන් ආයතනයට දැනුම්දුන් අතර, ඔහුගේ ඉවත්වීම බැඩ්මින්ටන් ආයතනයේ විධායක කමිටුව විසින් අනුමත කරනු ලැබීය.
ඒ අනුව විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි එන්.ඒ.ටී.ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නිලවරණ කමිටුවක් පත් කරමින් නිලවරණය සඳහා නාමයෝජනා කැඳවීමට බැඩ්මින්ටන් ආයතනය පසුගියදා පියවර ගත් අතර, ඊයේ එම නාමයෝජනා විවෘත කිරීමේදී සභාපතිධුරය සඳහා රොෂාන් ගුණවර්ධන මහතාගේ නාමයෝජනාව පමණක් ඉදිරිපත් වී තිබිණි.


