බැංකු ණය ලබා දීම හා ණය අයකර ගැනීමේ පිළිවෙත් පිළිබඳව ‘පදනම් විරහිත ප්‍රකාශ’ SLBA ප්‍රතික්ෂේප කරයි

SLBA-Logo-LBN

ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් දෙදෙනෙකු විසින් බැංකුවලට එරෙහිව මෑතකදී සිදු කල ප්‍රකාශයන් ශ්‍රී ලංකා බැංකු සංගමය ^SLBA& විසින් “වැරදි වැටහීම් ඇති කරන, නොමඟ යවන සුළු, සාවද්‍ය හා ප්‍රයෝජනවත් නොවන” ප්‍රකාශ ලෙස ප්‍රතික්ෂේප කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ^CBSL& බලපත්‍රලාභී රාජ්‍ය බැංකු, ලැයිස්තුගත පෞද්ගලික බැංකු සහ ජාත්‍යන්තර බැංකුවල ශාඛා කාර්යාල ආදී සියලුම බැංකු නියෝජනය කරන ශ්‍රී ලංකා බැංකු සංගමය ^SLBA& නිවේදනයක් නිකුත් කරමින් පැවසූයේ, තැන්පත්කරුවන්හට ඔවුන්ගේ මුදල් සුරක්ෂිත බවට සහතික කිරීම වෙනුවෙන් ණය ලබා දීමේදී හා ණයගැතියන්ගෙන් ණය අයකර ගැනීමේදී නියමිත ක්‍රියාවලි නිසි ලෙස අනුගමනය කරන බවට ප්‍රකාශයක් නිකුත් කරමින් අමාත්‍යවරුන් දෙදෙනාගේ ප්‍රකාශවලට ප්‍රතිචාර දැක්වීමට බල කෙරුණු බවයි.

 



 

“බැංකුවල ණය ලබා දීමේදී හා ණයගැතියන්ගෙන් ණය අයකර ගැනීමේ ක්‍රියාවලීන් පිළිබඳව ජනනය වන අතිශයෝක්තිය නිසා බැංකු විසින් නියමිත වූ ක්‍රියාවලිය අනුගමනය නොකරන බවට හා තැන්පත්කරුවන්ගේ අරමුදල් අවදානමට ලක්විය හැකි බවට ඇති විය හැකි වැරදි මත පිළිබඳ අපි කනස්සල්ලට පත් වී සිටිමු,” යනුවෙන් SLBA පැවසීය.

ඇත්ත වශයෙන් ම පවතින තත්ත්වය එසේ නොවන බවත්, බැංකු විසින් පුද්ගලික සම්බන්ධතා සහ දේශපාලන බලපෑම් මත ණය දෙන බවටත්, පරාටේ නීතිය අනිසි ලෙස භාවිතා කරන බවටත්, ගනුදෙනුකරුවන් සූරාකෑමට ලක්වන බවටත් නිර්මාණය වෙමින් පවතින කිසියම් අදහසක් වේ නම් ඒවා වැරදි වැටහීම් ඇති කරන සුළු, නොමඟ යවන සුළු, සාවද්‍ය හා ප්‍රයෝජනවත් නොවන ඒවා වන බව සංගමය වැඩිදුරටත් අවධාරණය කළේය.

SLBA පැවසූයේ ලබා දී ඇති ණය මුදල් ආපසු ලබා ගන්නා බවට තැන්පත්කරුවන්හට සහතික කරන බවත්, අසාර්ථක වූ හෝ ඵලදායී නොවන ව්‍යාපාර දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය වූ ණයගැතියන් සුළු පිරිසක් පමණක් මෙසේ බැංකු සමඟ ඔවුන්ගේ ශක්‍යතාව සමාලෝචනය කිරීමට ඇති අකමැතිකම නිසා බලපෑම් ඇති කිරීමට තැත් කරන බවයි. “අපට පෙනෙන පරිදි ඔවුන්ගේ අභිලාශය වන්නේ ඵලදායී ව්‍යාපාරයක් ලෙස ඉපැයීම නොව, දරාගත නොහැකි තරම් ණය ලබාගෙන එමගින් තම ජීවන රටාව එලෙසම දිගටම පවත්වාගෙන යාමයි,” යනුවෙන් SLBA පැවසීය.

“බැංකු ජනතාවගෙන් තැන්පතු ලබා ගන්නා අතර පොරොන්දු වූ පරිදි එම තැන්පතු ආපසු ගෙවිය යුතුය. මෙම තැන්පතු සුදුසුකම් ලත් ණය ගැණුම්කරුවන්ට එනම් පුද්ගලයින්ට, කුඩා පරිමාණ ව්‍යාපාරවලට, ජාතික ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සපයන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට මෙන්ම විශාල ආයතනවලට ද ලබා දෙනු ලැබේ,” යනුවෙන් SLBA පැවසූයේ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවට අනුව බැංකු විසින් 2023 වසරේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පමණක් රුපියල් බිලියන 704 ක ණය ලබා දී ඇති බව පෙන්වා දෙමිනි.

“බැංකුවල ණයගැතියන් අතර අසාර්ථක වූ පිරිස්, ණය ආපසු ගෙවීමට නොහැකිව ආතතියට පත් ව සිටින අය සහ හුදෙක් හිතාමතා ම ණය පැහැර හරින්නන් ද සිටීම නොවැලැක්විය හැකි දෙයකි. එම පිරිස කුඩා ප්‍රමාණයක් වුවද, ඉතා කලහකාරී පිරිසක් වන අතර, ඒ අතර බල සම්පන්න ලොබිකරුවන් ද සිටියි. කෙසේ වෙතත් ලොව පුරා සිදුවන ක්‍රියා පටිපාටිය නම්, අවශේෂ වත්කම් සංරක්ෂණය කිරීමේ විසඳුමකට එළඹීමේ අරමුණින් ඒ සඳහා පවතින ශක්‍යතාව තක්සේරු කිරීමට, අක්‍රීය වී ඇති බවට හඳුනාගෙන ඇති ණය ගැනුම්, එම ගැනුම්කරුවා සහ ණය ලබා දෙන්නා එක්ව සමාලෝචනය කිරීමයි. මෙමගින් දැනට ඉතිරිව පවතින වත්කම් අයුතු ලෙස විකිණීම වළක්වයි. මේ සඳහා අවශ්‍ය වන්නේ අසාර්ථක හෝ ඵලදායී නොවන ව්‍යාපාරයක් ඉදිරියට ගෙන යාමට උත්සාහ කරමින් ලොබිකරුවන් වෙත යොමු වීම නොව, ණය දෙන්නන් සමඟ කටයුතු කිරීමට ණය ගැනුම්කරුවන්ගේ සහභාගීත්වයයි,” SLBA පැවසීය.

“සියලුම ණය අයකර ගැනීමේ පිළියම් වලින් බලාපොරොත්තු වන්නේ බැංකුවක් තැන්පතු සඳහා පොලී ගෙවීමට සහ පොරොන්දු වූ පරිදි තැන්පතු ආපසු ලබා දීමට අපොහොසත් වීමේ අවධානමෙන් තැන්පත්කරුවන්ව ආරක්ෂා කිරීමයි,”යැයි SLBA ප්‍රකාශ කළේය.

COVID වසංගතය, 2019 අප්‍රේල් ත්‍රස්ත ප්‍රහාර සහ පවතින ආර්ථික අර්බුදය ඇතුළු ආර්ථිකයට බලපාන මෑත කාලීන අර්බුදවලදී දුෂ්කරතාවයට පත් ක්‍ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළු සියලුම ණය ගැනුම්කරුවන්හට බැංකු විසින් උපකාර කර ඇති අතර ඉදිරියටත් උපකාර කරන බවත්, මෙම ණය ගැනුම්කරුවන් එම දුෂ්කරතා මේ වන විට ජයගෙන ඇති බවත් සංගමය පෙන්වා දුන්නේය.

“බැංකු ක්ෂේත්‍රයට අයහපත් කාලයක් උදා වී ඇතත්, රාජ්‍ය සුරැකුම්පත්වල ඇමෙරිකානු ඩොලර් ආයෝජනය කරමින් මෙන්ම අත්‍යවශ්‍ය ආනයන සඳහා අරමුදල් අවශ්‍ය වූ විට විදේශ මුදල් ලබා දීමෙන් ද, රජයට මෙන්ම රටේ ආර්ථිකයට ද සහය වී ඇත,” යැයි ද සංගමය පැවසීය.

“කෙසේ වෙතත්, යථාර්ථය නම්, සමහර ව්‍යාපාර විභේදන අදියරෙන් ඔබ්බට ගොස් ඇති අතර අයිතිකරුවන් විසින් වසා දැමිය යුතු මට්ටමේ පවතී. බැංකු නොවන අංශවල ලොබිකරුවන්ගේ පිටුබලය ලබාගෙන අසාර්ථක ව්‍යාපාර දිගටම කරගෙන යාමේ අවශ්‍යතාවන්ට අනුබල දෙමින් තැන්පත්කරුවන්ගේ අරමුදල් අනිසි ලෙස භාවිතා කළ නොහැකි බව එවැනි ව්‍යාපාර තේරුම් ගත යුතුව ඇත,” SLBA පැවසීය.

“බැංකුකරණය ඉහළම ප්‍රමිතීන්ට අනුකූලව නියාමනය වන අංශයක් වන අතර, අනාගත ආර්ථික වර්ධනයේ පදනම වන්නේ ස්ථාවර හා ප්‍රගතිශීලී බැංකු පද්ධතියක් බවත් එබැවින් බැංකු වල ක්‍රියාපටිපාටීන් පිළිබඳව හුදු සාමාන්‍යකරණයන් සහ පදනම් විරහිත චෝදනා කිරීම් අතිශයින් ම නුසුදුසු වන බවත්,” SLBA අවසාන වශයෙන් අවධාරණය කර සිටී.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව