බ්‍රැන්ඩික්ස් සමූහය මීගමුව රෝහලේ ලේ බැංකුව සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර නැවත භාරදෙයි

New lease of life for Negombo Hospital Blood bank from Brandix (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදකයා වන බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය, මීගමුව රෝහලේ ලේ බැංකුව සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර භාරදීමට පසුගියදා කටයුතු කළේ ය. රටේ සෞඛ්‍ය සේවාව නංවාලීමේ අරමුණින් දීපව්‍යාප්තව සිදුකරන ප්‍රජා සත්කාර මාලාවක එක් අදියරක් වූ මෙය මෙහෙයවන ලද්දේ කටුනායක බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස් කර්මාන්තශාලාව මගිනි.

මෙම සත්කාරය අගයමින් අදහස් දැක්වූ ජාතික රුධිර පාරවිලයන සේවාවේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා, මෙය ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් සිදුකළ අතිශය වැදගත් හා කාලෝචිත මෙහෙවරක් බව පෙන්වා දුන්නේ ය. මේ වනවිට ජාතික රුධිර පාරවිලයන සේවාවට වැඩිම රුධිරය ප්‍රමාණයක් පරිත්‍යාග කරන සමාගම වන්නේද බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයයි.

“මෙය බ්‍රැන්ඩික්ස් රට වෙනුවෙන් සිදුකළ අගනා මෙහෙවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. ගම්පහ දිස්ත්‍රික්කය යනු රටේ ආර්ථික ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානයක්. එම දිස්ත්‍රික්කයේ ජනතාවට මීගමුව දිස්ත්‍රික් මහරෝහලෙන් සුවිශාල මෙහෙවරක් ඉටුවෙනවා. රෝහල් පරිශ්‍රය තුළ නව ලේ බැංකුවක් ස්ථාපිත කිරීමට ස්ථානයක් හඳුනාගෙන තිබුණත්, රාජ්‍ය අංශයේ සම්පත් හිඟය නිසා එම උත්සාහය සාර්ථක කරගැනීමට අපට හැකි වූයේ නැහැ. මෙම අවස්ථාවේදී බ්‍රැන්ඩික්ස් සමූහය අපට උදව් කිරීමට ඉදිරිපත් වුණා. මෙය ඉදිරියේදී ජීවිත රැසක් බේරාගැනීමට මහෝපකාරී වන පියවරක් වේවි. එමෙන්ම මෙය ප්‍රදේශයේ සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට ලබාදුන් සුවිශේෂී දායකත්වයක් ලෙස හැඳින්විය හැකියි.” වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා වැඩිදුරටත් පැවසී ය.

මීට පෙර මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ලේ බැංකුවේ කටයුතු එම රෝහල් පරිශ්‍රයේ ස්ථාන කිහිපයක සිදුකෙරුණු අතර, මෙම ව්‍යාපෘතිය යටතේ එම සියලු කටයුතු එකම ස්ථානයක සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට හැකි විය. මෙය රෝහලේ කාර්ය මණ්ඩලයට සහ රෝගීන්ට මෙන්ම රුධිරය පරිත්‍යාග කිරීමට පැමිණෙන්නන්ටද ඉමහත් පහසුවක් වනු ඇත.

“ප්‍රජාවන් සවිබල ගන්වමින්, සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ සෑම කෙනෙකුටම අවස්ථාව සලසා දීම සඳහා දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන් අප මේ ආකාරයට මීගමුව දිස්ත්‍රික් රෝහලේ ලේ බැංකුව අලුත්වැඩියා කිරීමට පියවර ගත්තා. බ්‍රැන්ඩික්ස් සමූහය ගම්පහ දිස්ත්‍රික්කයේ යහපත වෙනුවෙන් කැප වී සිටිනවා. ප‍්‍රදේශයේ ජනතාවට අඛණ්ඩව සේවය කරමින් සහ ඔවුන්ගේ ජීවිතවල සැබෑ පරිවර්තනයක් ඇතිකරමින්, සමෘද්ධිමත් හා නිරෝගී ප‍්‍රජාවක් නිර්මාණය කිරීම අපගේ ඉලක්කයයි.” බ්‍රැන්ඩික්ස් එසේන්ෂල්ස් හි ප්‍රධාන විධායක නිලධාරී ලලිත් බණ්ඩාර මහතා පැවසී ය.

ජාතික රුධිර පාරවිලයන සේවාවට අඛණ්ඩ රුධිර සැපයුමක් අත්‍යවශ්‍ය බැවින් බ්‍රැන්ඩික්ස් සමූහය පසුගිය වසර 15 පුරාම වාර්ෂිකව ලේ දන්දීමේ වැඩසටහන් සංවිධානය කර තිබේ. සමූහයේ සාමාජික සාමාජිකාවන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම උදාර මෙහෙවරට, බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලා 23 ක සාමාජික සාමාජිකාවෝ 35,000 කට අධික පිරිසක් දායක වන අතර, අන්‍යයන්ගේ ජීවිත බේරාගැනීමේ පිවිතුරු චේතනාවෙන් යුතුව ඔවුහු මෙම ලේ දන්දීමේ වැඩසටහන්වලදී ස්වකැමැත්තෙන් රුධිරය පරිත්‍යාග කරති.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව