ප‍්‍රති ක්ෂුද්‍රජීවි ප‍්‍රතිරෝධතාව (Antimicrobial resistance): SLCPI වගකිවයුතු ප‍්‍රතිජීවක ඖෂධ භාවිතයේ වැදගත්කම අවධාරණය කරයි

Image 1 (3) (1)

ප‍්‍රති ක්ෂුද්‍රජීවි ප‍්‍රතිරෝධතාව පැතිරයාම (antimicrobial resistance – AMR) අවම කිරීම සඳහා ඖෂධ අලෙවිය පිළිබඳ ආචාරධර්ම පද්ධතියක් සැකසීම හා වෛද්‍ය අනුමැතියකින් පසු ලබා දුන් බෙහෙත් වට්ටෝරුවකට අනුව ඖෂධ නිකුත් කිරීම හා ඖෂධ භාවිතය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සිය සංසදය දක්වන කැපවීම ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය (SLCPI) නැවතත් අවධාරණය කර සිටී.

සෑම වසරකම නොවැම්බර් මාසයේ ’World Antimicrobial Awareness Week’ හෙවත් අන්තර්ජාතික ප‍්‍රති ක්ෂුද්‍රජීවින් පිළිබඳව දැනුවත් කිරීමේ සතිය සමරනු ලබයි. මෙයට සමගාමීව ගෝලීය වශයෙන් ප‍්‍රති ක්ෂුද්‍රජීවි ප‍්‍රතිරෝධතාව (AMR) පිළිබඳව දැනුවත් කිරීමට සහ ප‍්‍රතිජීවක ප‍්‍රතිරෝධතාව තවදුරටත් මතු වීම හා පැතිරීම වැළැක්වීම සඳහා ගත යුතු ආරක්ෂක පියවර පිළිබඳව මහජනතාව, වෛද්‍යවරුන්, සෞඛ්‍ය අංශ සේවකයින් සහ ඖෂධ පිළිබඳ ප‍්‍රතිපත්ති සම්පාදකයින් දැනුවත් කිරීමේ අරමුණින් ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය මේ පිළිබඳව අදහස් ප‍්‍රකාශ කර ඇත.

මෙහිදී පළමුව ප‍්‍රතිජීවක ඖෂධ යනු කුමක්දැයි විමසා බැලීම වැදගත් වේ. ඒ අනුව ප‍්‍රතිජීවක ඖෂධ යනු බැක්ටීරියා සහ සමහර ප්‍රෝටෝසෝවාවන් විසින් ඇති කරන බෝවන රෝග ඇතුළු ආසාදන (Infections) සඳහා ප‍්‍රතිකාර කිරීමට භාවිතා කරන ප‍්‍රබල ඖෂධ වර්ගයන්ය. සාමාන්‍යයෙන් ප‍්‍රතිජීවක ඖෂධ මගින් කෙරෙන්නේ බැක්ටීරියා විනාශ කිරීම හෝ ඒවායේ වර්ධන නවතා දැමීමයි. නමුත් SLCPI සඳහන් කරන්නේ ප‍්‍රතිජීවක ඖෂධ අධික ලෙස භාවිතා කිරීම හා අනිසි ලෙස භාවිතා කිරීම ශරීරයට අහිතකර බවත් එමගින් ප‍්‍රතිජීවක ප‍්‍රතිරෝධතාව (antibiotic resistance) වැඩි කරන බවයි. එසේ වන්නේ බැක්ටිරියා ආසාදනවලට ප‍්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ඖෂධ බැක්ටීරියාවලට ප‍්‍රතිරෝධී වීම නිසා බව ඔවුන් පවසයි. බැක්ටීරියා වෙනස්වීමට ලක්වීම සහ එවන් ප‍්‍රතිරෝධී වෙනස්කම් සහිත බැක්ටීරියා බහුලව පැතිරයාමට ප‍්‍රධාන හේතුව ප‍්‍රතිජීවක අනිසි ලෙස භාවිතය බව ඔවුන් පෙන්වා දෙයි. අසනීපයකදී තමන් හිතුමතේ ප‍්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම සහ ඖෂධවේදීන් අතර ඖෂධ පිළිබඳ ප‍්‍රමාණවත් දැනුමක් නොමැති වීම ශ්‍රී ලංකාවේ මේ වන විට ප‍්‍රතිජීවක ප‍්‍රතිරෝධතා වලට ප‍්‍රධාන සාධකයක් බවට පත්ව ඇති බව ද ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය පෙන්වා දෙයි. (National Antibiotics Guidelines, 2016).

අප ප‍්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම සුළුකොට සලකනවාද?

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වර්තමානයේදී මනුෂ්‍ය වර්ගයා මුහුණ දෙන බරපතල ගෝලීය සෞඛ්‍ය ගැටළු දහයෙන් එකක් ලෙස ප‍්‍රති ක්ෂුද්‍රජීවි ප‍්‍රතිරෝධතාව (antimicrobial resistance) ප‍්‍රකාශයට පත් කර ඇත. සෑම වසරකම AMR හේතුවෙන් මරණ 700,000ක් පමණ සිදු වන වාර්තා වේ. මෙහි ඇති බරපතල තත්වය නම්, මේ පිළිබඳව කිසිඳු ක‍්‍රියාමාර්ගයක් නොගත හොත් AMR පැතිර යෑම නිසා 2050 වනවිට වසරකට කෝටියක් පමණ දෙනාගේ ජීවිත අහිමි විය හැකි බවට ඔවුන් වැඩිදුරටත් අනතුරු අඟවයි. තවද විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින ආසියානු රටවල් ද AMR වලට වැඩි වශයෙන් ගොදුරු විය හැකි බවට ද ඔවුන් අනතුරු අඟවයි (UN, 2019).

ක්ෂුද්‍රජීව වෛද්‍යවේදය පිළිබඳ ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය (Sri Lanka College of Microbiologists) දත්තවලට අනුව ජීවිතයට තර්ජනයක් වන රුධිර ආසාදන ඇති කරන S.aureus (MRSA සහ S. pneumoniae වැනි බැක්ටීරියා විශේෂ පළමු පෙළ ප‍්‍රතිජීවක ඖෂධ සඳහා පිළිවෙලින් 53%ක හා 95%ක ප‍්‍රතිරෝධතාවක් පෙන්නුම් කර ඇත. මේ අතර රුධිරය, මුත‍්‍රා මාර්ගය හා පෙනහළු ආශ‍්‍රිත ආසාදනවලට හේතුවන රෝග කාරකයක් වන Acinetobacter බැක්ටීරියා දෙවන පෙළ ප‍්‍රතිජීවක ඖෂධ සඳහා 38%ක ප‍්‍රතිරෝධතාවක් පෙන්නුම් කර ඇත (National AMR Surveillance Data, 2014).

 




 

 

මෙම ගැටළුව තවත් සංකීර්ණ වීමට හේතු වී ඇත්තේ ඖෂධවේදීන් අතර ප‍්‍රතිජීවක ඖෂධ පිළිබඳ ප‍්‍රමාණවත් දැනුමක් නොමැති වීමයි. 2017 දී සිදු කළ අධ්‍යයනයකට අනුව ශ්වසන රෝග, උණ, තුවාල සහ මුත‍්‍රා රෝග සඳහා ප‍්‍රතිජීවක ඖෂධ නිකුත් කළ ඖෂධවේදීන් 90%ක් එම ඖෂධ පිළිබඳව අවිධිමත් පුහුණුවක් ලැබූවන් බව සොයා ගෙන ඇත (Ceylon Medical Journal, 2017)¡ මේ අනුව සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් යුතුව නිකුත් කරන බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව ප‍්‍රතිජීවක ඖෂධ නිකුත් නොකිරීමට වගබලා ගැනීම ඉතා වැදගත් වේ.

මෙයට අමතරව වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් මත වුවද නිකුත් කරන ප‍්‍රතිජීවක ඖෂධ භාවිතය පිළිබඳව, විශේෂයෙන්ම ගත යුතු නියමිත මාත‍්‍රාව, දිනකට ගත යුතු වාර ගණන හා අඛණ්ඩව ගත යුතු දින ගණන වැනි දේ පිළිබඳව රෝගියාව දැනුවත් කිරීම ඖෂධවේදියාගේ වගකීමක් වේ.

ප‍්‍රති ක්ෂුද්‍රජීවි ප‍්‍රතිරෝධතාව (AMR) වළක්වා ගැනීමට ගත හැකි ඉක්මන් ක‍්‍රියාමාර්ග

ප‍්‍රතිජීවක ඇතුළු ප‍්‍රති ක්ෂුද්‍රජීවි ප‍්‍රතිරෝධතාව ඉහළ යාම වළක්වා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙමින් අදාල පාර්ශ්වකරුවන් සමඟ ඖෂධ නිකුත් කිරීම සඳහා ආචාරධර්ම පද්ධතියක් සැකසීම හා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් යුතුව බෙහෙත් වට්ටෝරු නිකුත් කිරීම ආදි කටයුතු අඛණ්ඩව සිදු කරන බව SLCPI සාමාජිකත්වය අවධාරණය කරයි. එය AMR වළක්වා ගැනීම සඳහා ඉතා වැදගත් බව ඔවුන් පෙන්වා දෙයි.

රෝගියාගේ සෞඛ්‍ය හා යහපැවැත්ම සහතික කිරීම සඳහා අපගේ ක්ෂේත‍්‍රයේ සෑම අංශයකම ඉහළ ප‍්‍රමිතියෙන් යුතු ආචාර ධර්ම පවත්වා ගැනීමේ අවශ්‍යතාව ක්ෂේත‍්‍රයේ ඉහළින්ම සිටින ආයතනයක් ලෙස අප හඳුනාගෙන තිබෙනවා.’’ යනුවෙන් SLCPI සාමාජිකත්වය උප සභාපති අසාම් නිසාම් ජාවර්ඞ් මහතා පැවසුවේය.

SLCPI හි සාමාජිකත්වය දරන ප‍්‍රධාන සමාගම් කිහිපයක් ප‍්‍රති-ක්ෂුද්‍රජීවි ප‍්‍රතිරෝධතාව අවම කිරීම සඳහා තිරසාර විසඳුම් සැපයීම අරමුණු කරගත් විශාලතම පුද්ගලික සන්ධානයක් වන AMR Industry Alliance හි කොටසක් නියෝජනය කරයි. මෙම සමාගම් ජෛව තාක්ෂණය, රෝග නිර්ණය කිරීම්, ජාන විද්‍යාව සහ පර්යේෂණ මත පදනම් වූ ඖෂධ සමාගම් හා සංවිධාන ආදී Davos සම්මුතියේ ඇති සමාගම් සියයකට අධික සංඛ්‍යාවක් සමඟ ප‍්‍රති ක්ෂුද්‍රජීවි ප‍්‍රතිරෝධතාව අවම කිරීමට කැපවී කටයුතු කරන අතර R&D (Research & Development) සඳහා ආයෝජනය කිරීම සහ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ප‍්‍රතිජීවක ඖෂධ හා එන්නත් පිළිබඳ සිදු කරන පරීක්ෂණ වැඩි දියුණු කිරීම ආදියට ද සහය වේ (AMR Industry Alliance, 2020).

‘‘මේ අනුව ප‍්‍රති-ක්ෂුද්‍රජීවි ප‍්‍රතිරෝධතාව වළක්වා ගැනීමේ ඉක්මන් ක‍්‍රියාමාර්ගයක් අවශ්‍ය බව නම් පැහැදිලිය. අපට මෙය සාක්ෂාත් කරගත හැකි එක් ක‍්‍රමයක් ලෙස, වෛද්‍යවරුන්ට, සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට සහ රෝගීන්ට ප‍්‍රතිජීවක ඖෂධ ප‍්‍රමාණාත්මකව භාවිතයේ වටිනාකම හා වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සඳහා රජය සහ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමයි.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව