පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් PLC සමාගම 2023/24 තුන්වැනි කාර්තුවේ විචල්‍ය වෙළඳපොළ තත්ත්වයන් තුළ බදු-පසු ලාභයේ 30.8% ක වර්ධනයක් වාර්තා කරගනී

Chairman - Mr. Pradeep Amirthanayagam

මෙරට බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (People’s Leasing & Finance PLC – PLC), 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්ත්වයන් හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමින් ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී තිබේ. වර්ෂයේ මුල් මාස 9 තුළ සමාගමේ බදු-පසු ලාභය රු. මිලියන 2,141 ක් වූ අතර, තුන්වැනි කාර්තුවේ බදු-පසු ලාභය පෙර වසරට සාපේක්ෂව 30.8% කින් වර්ධනය වී, රු. මිලියන 1,039 ක් ලෙස වාර්තා වී තිබේ. අක්‍රීය ණය ගාස්තු සහ වෙනත් අලාභයන් ආපසු හැරවීම ඔස්සේ ළඟා කරගෙන ඇති මෙම වර්ධනය, PLC සමාගමේ මූල්‍ය විශිෂ්ටත්වයට හා ක්‍රමෝපායික මූල්‍ය කළමනාකරණයට මනා සාක්ෂියකි.

 



 

අදාල කාලසීමාව තුළ පොලී ආදායම සාමාන්‍ය මට්ටමක පැවතුණද, 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුව තුළ ශුද්ධ පොලී ආදායමේ 2.8% ක වර්ධනයක් වාර්තා කරගැනීමට PLC සමත් වූ අතර, එය කාර්යක්ෂම මූල්‍ය ක්‍රමෝපායන්ට සහ විචක්ෂණශීලී කළමනාකරණ ක්‍රමවේදයන්ට සාක්ෂි දරයි.

ණය ගුණාත්මකභාවය වැඩිදියුණු කරගනිමින් අයවිය යුතු මුදල් එක්රැස් කිරීම ප්‍රවර්ධනය කිරීම මගින් යහපත් ප්‍රතිඵල ළඟා කරගැනීමට සමාගම සමත් වී ඇති අතර, 2023 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ මාස 9 තුළ සමාගමේ අක්‍රීය ණය ආපසු හැරවීම මගින් ලැබුණු මුදල රු. මිලියන 114 ක් විය. පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව, 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුව තුළ අක්‍රීය ණය ආපසු හැරවීම 94.4% කින් ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.

ශේෂ පත්‍රය සහ ණය හා අයවිය යුතු මුදල් යහපත් මට්ටමකට රැගෙන ඒම සඳහා අඛණ්ඩව අවධානය යොමුකරන අතරම, වෙනස් වන වෙළඳපොළ තත්ත්වයන් තුළ පැවති යහපත් ව්‍යාපාරික පරිසරයක්  තුළ ශක්තිමත් ලෙස ඉදිරියට යාමට PLC සමත් වී තිබේ. 2023 දෙසැම්බර් 31 දින වනවිට සමාගමේ සමස්ත වත්කම් පදනම රු. මිලියන 156,007 ක් වූ අතර, නිකුත් කළ සමස්ත ණය සහ අයවිය යුතු මුදල් එකතුව රු. මිලියන 102,275 ක් විය.

“වෙනස් වන වෙළඳපොළ තත්ත්වයන්ට ක්‍රමෝපායික ලෙස මුහුණ දෙමින් විශිෂ්ට ලාභදායීත්වයක් සහ ලාභයේ වර්ධනයක් ළඟා කරගන්නා අතරම, ශේෂ පත්‍රය ශක්තිමත් කරගැනීමටත්, අක්‍රීය ණය අවදානම අවම කරගැනීමටත් අප සමත් වී තිබෙනවා. මේ වනවිට සිදුවෙමින් පවතින ආර්ථික පුනර්ජීවනයට සමගාමීව උදාවන අවස්ථාවන් ග්‍රහණය කරගනිමින් පාර්ශ්වකරුවන්ට තිරසාර ලෙස වටිනාකම් පිරිනැමීමට අප සූදානම්.” PLC සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශමීන්ද්‍ර මර්සිලීන් මහතා පැවසී ය.

මීට අමතරව, 2023 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ මාස 9 තුළ බදු-පසු ලාභය 23.2% කින් වර්ධනය කරගැනීමට PLC සමූහ ව්‍යාපාරය සමත් වී තිබේ. සමූහයේ සමස්ත වත්කම් සහ ණය හා අයවිය යුතු මුදල් එකතුව තෘප්තිමත් මට්ටමක පවතින අතර, එය ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස PLC සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරන මනා සාධකයකි.

ශක්තිමත් මූල්‍ය කාර්යසාධනය සහ ක්‍රමෝපායික ලෙස හැඩගැසීමේ හැකියාව සමගින්, ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය උදෙසා කැපීපෙනෙන දායකත්වයක් ලබාදෙමින්, විශ්වාසනීය මූල්‍ය සහකරුවෙකු ලෙස තමන් සතු පිළිගැනීම තවදුරටත් වර්ධනය කරගැනීම PLC සමාගමේ අරමුණ වී තිබේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව