පහළ දැමූ සූර්ය විදුලි ගාස්තු ඉහළ දමා පුනර්ජනනීය බල ශක්තිය ප්‍රවර්ධනය කරන්න

REPA (LBN)
  • සුනිත්‍ය බල ශක්තිය සුරකින්නන්ගේ සංගමය ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඉල්ලයි

සූර්ය පැනල ව්‍යාපෘති සඳහා ගෙවන ගාස්තුව රුපියල් 27 දක්වා පහළ දැමීමට විදුලි බල හා බල ශක්ති අමාත්‍යවරයා ගත් තීරණය ඇතුළු පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටළුවලට විසඳුම් සැපයීමට තමන් සතු සැළසුම් මොනවාද යන්න රටට හෙළි කරන ලෙස සුනිත්‍ය බල ශක්තිය සුරකින්නන්ගේ සංගමය ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටී. ඒ අතරින් ක්ෂේත්‍රය මුහුණ දෙන ගැටලු සඳහා වඩාත් සුදුසු විසඳුම් සපයන අපේක්ෂකයන්ට ඡන්දය ප්‍රකාශ කරන ලෙසද එම සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යධිකාරිවරයා අමාත්‍ය මණ්ඩල තීරණයට සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශයට පටහැනිව සූර්ය පැනල ව්‍යාපෘති සඳහා ගෙවනු ලබන ගාස්තු පහළ දමන ලෙස අදාළ නිලධාරින්ට උපදෙස් දී ඇත. සංගමයේ සභාපති දර්ශන ලියනසේකර මහතා පැවසුවේ මෙම අත්තනෝමතික තීරණය තුළින් පුරවැසියන්, දේශීය ව්‍යවසායකයන් අධෛර්යවත් වී එම ක්ෂේත්‍රය මෙතෙක් ලබා ඇති ප්‍රගතිය දුර්වල වන බවයි. මෙම තීරණය නිසා 2030 වන විට මෙරට බල ශක්ති අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බල ශක්ති ප්‍රහවවලින් සපුරා ගැනීම සඳහා වන ඉලක්කය ළඟා කර ගත නොහැකි වනු ඇති බවද ඔහු පැවසීය.

 



 

“ඩීසල් මූලික කර ගත් විදුලි උත්පාදනය නිසා වාර්ෂිකව ඩොලර් බිලියන ගණනක් රටට අහිමි වෙනවා. සූර්ය පැනල ව්‍යාපෘති සඳහා ගෙවන ගාස්තු අඩු කරන්න උනන්දු වෙන විදුලි බල හා බල ශක්ති අමාත්‍යවරයා ඩීසල් බලාගාර සඳහා ගෙවන ගාස්තු රුපියලකින්වත් අඩු කරන්නේ නැහැ. ඩීසල් භාවිතයෙන් උත්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා රු. 70ත් රු. 100ත් අතර මුදලක් ගෙවනවා. සූර්ය පැනල ව්‍යාපෘති ව්‍යාප්ත කිරීම තුළින් ඒ මුදල රට තුළ රඳවා ගන්න හැකියාව ලැබෙනවා.” කටුනායක ප්‍රදේශයේ පදිංචි විදුලි පාරිභෝගිකයෙකු වන කේ. ලක්ෂ්මන් මහතා පැවසුවේ සූර්ය බල ශක්තිය තුළින් නිවෙස්වල විදුලි බිල සහ කර්මාන්තශාලාවල නිෂ්පාදන පිරිවැය සැළකිය යුතු ලෙස අවම කර ගත හැකි බවයි. එබැවින් මෙම ගැටලුව පිළිබඳව කඩිනම් අවධානය යොමු කර සුදුසු විසඳුමක් දෙන ලෙස ඔහු රජයෙන් හා ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේය. කිරිබත්ගොඩදී පැවති මෙම මාධ්‍ය සාකච්ඡාවට විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ ලේකම් රොෂාන් සංජීව, සුනිත්‍ය බල ශක්තිය සුරකින්නගේ සංගමයේ ලේකම් අමල් සරත්චන්ද්‍ර යන මහත්වරුද සහභාගී වූහ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව