දැවැන්ත අලෙවි නියෝජිත සම්මාන උළෙලක් සමඟ සියැට් කැළණි සිය සාර්ථකත්වය විදහා දක්වයි

Dealer awards 2023 (LBN)

 



 

 

සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම පසුගිය දා අති උත්කර්ශවත් සම්මාන උළෙලක් පවත්වමින් ආයතනයේ විශිෂ්ට අලෙවි නියෝජිතයින් වෙත උපහාර පිරිනමමින් වෙළඳපොළ ආධිපත්‍යය කරා දශක දෙකහමාරක නිෂ්පාදන විශිෂ්ඨත්වයේ ගමන සඳහා කෘතඥතාව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ විශිෂ්ට අලෙවි නියෝජිතයින් 125ක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමඟ වසර තුනක කාලයකට පසුව එක්වී ගෝලීය වසංගතය හා ආර්ථික අර්බුදය නිසා ඇතිවූ පීඩාකාරී බලපෑම් මැඩපැවැත්වීම සඳහා ඔවුන් සිදුකළ ඒකාබද්ධ ප්‍රයත්නයේ සාර්ථකත්වය සැමරූහ.

දිවයින පුරා සිටින සියැට් අලෙවි නියෝජිතයින් අතුරින් හොඳම 10 දෙනා සමාගමේ කාර්ය සාධනය උදෙසා දැක්වු දායකත්වය වෙනුවෙන් සම්මාන ලබාගත් අතර හොඳම අලෙවි නියෝජිතයින් 45 දෙනා හට විශිෂ්ඨතා සම්මාන හිමිවිය. තවද, ටයර් කාණ්ඩ හතරෙන් ඒ ඒ කාණ්ඩයේ හොඳම ක්‍රියාකරී නියෝජිතයින් අලෙවි නියෝජිත සමුළුවේදී විශේෂ පිළිගැනීමට ලක්විය.

හම්බන්තොට ෂැන්ග්‍රි-ලා හෝටලයේ දී මෙම දෙදින උත්සවය පැවැත්වුනේ කොළඹ පැවැති සියැට් කැළණි 25 වැනි සාංවත්සරික සැමරුම් උත්සවයේ දී මෙරට ජනාධිපතිතුමන්ගේ සහ දේශපාලන හා ව්‍යාපාරික ප්‍රධානීන්ගේ ප්‍රශංසා ලැබීමෙන් දින කිහිපයකට පසුව ය.

සියැට් කැළණි සභාපති චානක ද සිල්වා මහතා තම පිළිගැනීමේ කතාවේදී මෙසේ පැවසීය: “ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයෙකු ලෙස සියැට් ශ්‍රී ලංකා සමාගම මෙම අර්බුදකාරී කාලවලදී නොසැලී සිටි බව පැවසීමට මම ආඩම්බර වෙනවා. නමුත් මෙසේ නොසැලී සිටීමේ හැකියාව අප සමාගමේ ශක්තිය පිළිබඳ සාක්ෂියක් පමණක්ම නොවේ. එය අපගේ ගෞරවනීය අලෙවි නියෝජිතවැරුන්ගේ නොසැලෙන සහයෝගය, විශ්වාසය හා කැපවීමද පිළිබිඹු කරයි. මාවත බාධක වලින් පිරී තිබූ විටෙකදී වුවද අප ගමනේ රැඳී සිටීම තහවුරු කිරීමට ඔබ සෑම කෙනෙක්ම ඉතා වැදගත් භූමිකාවක් ඉටුකළා.”

සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ, රවී ඩඩ්ලානි මහතා අවධාරණය කළේ “අනාගතය දෙස බලන විට, ඉදිරි කටයුතු සඳහා ඉහළ අපේක්ෂා සහිත සැළසුම් ඇති බව මම ඉතා සතුටින් පැවසීමට කැමතියි. අපගේ නිෂ්පාදන දාමයෙන් බිහිවන සෑම ටයරයක ම ඉහළම ප්‍රමිතිය සුරක්ෂිත කරමින්, ගුණාත්මක බව වැඩිදියුණු කිරීම සඳහා අපි කැපවී සිටිමු. තවද, සෑම ශ්‍රීලාංකිකයෙකුටම වෙළඳපොලේ ඇති හොඳම ටයර් ලබා ගැනීමේ හැකියාව සහතික කරමින් දේශයේ තවත් ප්‍රදේශ සිසාරා අපගේ ව්‍යාප්තිය ආරම්භ කර ඇත”.

සියැට් නිෂ්පාදනය කරන ඒ ඒ නිෂ්පාදන අංශ යටතේ ඔවුන්ගේ කාර්ය සාධනය හා සමස්ත විශිෂ්ටත්වය අගයමින් මෙම උත්සවයේදී ගෞරවාදරයට පාත්‍ර වූ ප්‍රමුඛ පෙළේ නියෝජිතවරුන්ට මුදල් තෑගි, කුසලාන, තෑගි වවුචර හා සහතික පත් හිමි විය. සියැට් හි ප්‍රමුඛතම අලෙවි නියෝජිතයා වූයේ U&H වීල් සර්විස් පුද්ගලික සමාගම කොළඹ 02 වන අතර අනුශූරතාව පදලංගල රාජපක්ෂ ටයර් හවුස් සතු විය.

ටයර් කාණ්ඩ අංශ සම්මාන අතුරින් රේඩියල් අංශය කොළඹ 14 පැරමවුන්ට් ටයර් ටේ්‍රඩර්ස් විසින් ජයග්‍රහණය කළ අතර, U&H වීල් සර්විස් කොළඹ 02 ට්‍රක් රථ අංශය ද, අම්බලන්ගොඩ සුමිත් මාර්කටිං කම්පනි සැහැල්ලු ට්‍රක් රථ අංශය ද, මාවතගම තාරක ටයර් හවුස් ත්‍රීරෝද රථ අංශය ද ජයග්‍රහණය කළහ.

සියැට් සන්නාමය ඉතාලියේ ආරම්භ වූ අතර මේ වන විට දකුණු ආසියාව, මැදපෙරදිග, අප්‍රිකාව සහ ඈත පෙරදිග රටවල්වලට අපනයනය කිරීම සඳහා වන සම්මත ප්‍රමිතීන් සපුරාලීමේ හැකියාව ලබා දෙමින් ජර්මානු නිෂ්පාදන තාක්ෂණයෙන් සහ ඉන්දියාවේ හා යුරෝපයේ පුළුල් පර්යේෂණ හා පරීක්ෂණ පහසුකම් වල අනුබලය ලබාගෙන ඇත.

සියැට් කැළණි හෝල්ඩිංග්ස් සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ රුපියල් බිලියන 8 කට වැඩි මුදලක් ආයෝජනය කර තිබෙන අතර සමාගම විසින් මගී මෝටර් රථ, වෑන්, SUV වාහන, වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්) යතුරු පැදි, ත්‍රිරෝද රථ සහ කෘෂි කාර්මික වාහන සඳහා ටයර් මෙරට නිෂ්පාදනය කරයි. රජය සතු ව්‍යවසායයක් සාර්ථක ලෙස පුද්ගලීකරණය කිරීම සඳහා ආදර්ශයක් ලෙස සලකනු ලබන, සියැට් කැළණි හෝල්ඩින්ග්ස් මේ වන විට ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යයතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන අතර එහි නිෂ්පාදනයෙන් සියයට 20 ක් පමණ රටවල් 16 කට අපනයනය කරයි. ආනයනික ටයර් මත යැපීම අඩු කිරීමෙන් විදේශ විනිමය සංරක්ෂණය කිරීමට ජාතික ආර්ථිකයට උපකාර කිරීමේදී සැලකිය යුතු කාර්යභාරයක් ද සියැට් කැළණි සමාගම ඉටු කරනු ලබයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව