මෙරට පාසල් ක්‍රීඩා ක්ෂේත්රයේ උන්නතිය උදෙසා කැපවන රිට්ස්බරි ආයතනයේ අඛණ්ඩ පූර්ණ අනුග්‍රහයෙන් පැවැති 53 වැනි රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ පාසල් මළල ක්‍රීඩා තරගාවලිය පසුගියදා සාර්ථක ලෙස අවසන් වූයේ දිවයින පුරා පාසල් රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි. මාතර කොටවිල දිස්ත්‍රික් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගාවලියේදී පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා, ක්‍රීඩාශීලීත්වය සහ කණ්ඩායම් හැඟීම ඉතා හොඳින් දැකබලා ගැනීමට සියලු දෙනාට අවස්ථාව ලැබිණි.
ශ්‍රී ලංකා පාසල් මළල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලියට දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18,000 ත් 20,000 ත් අතර පිරිසක් සහභාගී වූ අතර, වයස අවුරුදු 12 න් පහළ සිට 15 න් පහළ දක්වා වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්විණි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලුම දෙනාට තරගකාරී තේරීම් ක්‍රියාවලියකට මුහුණදීමට සිදු වූ අතර, තරගාවලියේ මූලික වට කිහිපය බණ්ඩාරගම, ඇඹිලිපිටිය, මඩකලපුව, යාපනය සහ වෙන්නප්පුව යන ප්‍රදේශවලදී පැවැත්විණි.
තරගාවලියේ බාලක කාණ්ඩයේ ශූරතාව, ලකුණු 82 ක් හිමි කරගත් මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය වෙත හිමි විය. ලකුණු 67 ක් හිමි කරගත් කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට එහි දෙවැනි ස්ථානයද, ලකුණු 42 ක් ලබාගත් කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයට එහි තුන්වැනි ස්ථානයද හිමි විය.
බාලිකා කාණ්ඩයේ ශූරතාව දිනාගන්නා ලද්දේ ලකුණු 60 ක් ලබාගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල විසිනි. එහි දෙවැනි ස්ථානය ලකුණු 51 ක් ලබාගත් මීගමුව ආවේ මරියා කන්‍යාරාමය විසින්ද, තුන්වැනි ස්ථානය ලකුණු 38 ක් ලබාගත් මාතර සුජාතා විද්‍යාලය විසින්ද දිනාගන්නා ලදී.
වයස අවුරුදු 14 න් පහළ දුර පැනීමේ ඉසව්වේදී මීටර් 6.54 ක දුරක් වාර්තා කළ ගෝනගල මහා විද්‍යාලයේ ඩී. ඒ. එස්. සමල්ක තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස නම්කෙරිණි. අවුරුදු 15 න් පහළ දුර පැනීමේ ඉසව්වේදී මීටර් 6.04 ක දුරක් වාර්තා කළ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඩී. රාජපක්ෂ තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩිකාව බවට පත් වූවා ය.
සමස්ත තරගාවලියේදී වාර්තා 11ක් සනිටුහන් විය. බාලක අංශයේ වයස අවුරුදු 15 න් පහළ කාණ්ඩය යටතේ ක්‍රීඩා කළ කොළඹ 10 ශාන්ත ජෝශප් විද්‍යාලයේ එම්. රාජසිංහ, හෙල්ල විසිකිරීම ඉසව්වෙන් මීටර් 56.07 ක දුරක් වාර්තා කරමින් නව වාර්තාවක් පිහිටුවීමට සමත් විය. බාලිකා 15 න් පහළ කාණ්ඩය යටතේ ක්‍රීඩා කළ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඩී. රාජපක්ෂ, දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 6.04 ක දුරක් වාර්තා කරමින් නව වාර්තාවක් පිහිටුවීමට සමත් වූවා ය.
“රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ පාසල් මළල ක්‍රීඩා තරගාවලිය, ශ්‍රී ලංකාවේ පාසල් මළල ක්‍රීඩා ක්ෂේත්රයේ ප්‍රමුඛතම වාර්ෂික තරගාවලියක්. මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙන්නුම් කරන දක්ෂතා, ශ්‍රී ලංකාවේ බිම් මට්ටමේ සිටම ක්‍රීඩා ක්ෂේත්රය පෝෂණය කිරීම සඳහා අප දරන උත්සාහය කෙතරම් වැදගත්ද යන්නට සාක්ෂි දරනවා.. ඉදිරියටත් යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසා දෙමින් ඔවුන්ට ක්‍රීඩාව තුළින් විශිෂ්ටත්වය කරා යාමට උපකාරී වීම අපගේ අරමුණයි.” CBL Foods සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) නිලුපුල් ද සිල්වා මහතා පැවසී ය.
“53 වැනි රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ පාසල් මළල ක්‍රීඩා තරගාවලිය ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩා ක්ෂේත්රයේ අපූර්වත්වය මැනැවින් පෙන්වා දුන් තරගාවලියක් ලෙස හැඳින්වීමට පුළුවන්. රිට්ස්බරි හවුල්කාරීත්වය නිසා අපට මෙම තරගාවලියේ ප්‍රමිතිය උසස්ම මට්ටමින් පවත්වා ගනිමින්, දක්ෂ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම සිහින සැබෑ කරගැනීම සඳහා වැඩි වැඩියෙන් අවස්ථා ලබාදීමට හැකි වී තිබෙනවා. රිට්ස්බරි ලබාදෙන මෙම අඛණ්ඩ සහයෝගය, ශ්‍රී ලංකාවේ මීළඟ පරම්පරාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීම සඳහා අතිශයින් වැදගත්.” ශ්‍රී ලංකා පාසල් මළල ක්‍රීඩා සංගමයේ සභාපතිනි ඩී. ඒ. එස්. එස්. විජේසිංහ මහත්මිය පැවසී ය.
රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ පාසල් මළල ක්‍රීඩා තරගාවලිය යනු ශ්‍රී ලංකාවේ පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීම සහ ඔවුන්ගේ දක්ෂතා වැඩිදියුණු කිරීම සඳහා සුවිශාල කාර්යභාරයක් ඉටුකරන තරගාවලියකි. එම නිසා එය මෙරට පාසල් ක්‍රීඩා ක්ෂේත්රයේ උන්නතිය උදෙසා අතිශයින් වැදගත් කාර්යභාරයක් ඉටුකරන තරගාවලියක් ලෙස හඳුන්වා දියහැක.