තිළිණ සහ පංචාලි පුත්තලම් දිස්ත්‍රික් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතා දිනති

Winners

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන ආශිංස හේරත්ට එරෙහිව විස්මිත ජයක් වාර්තා කළ තිළිණ රාජකරුණා පුත්තලම් දිස්ත්‍රික් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි ඒකල ශුරතාව දිනාගැනීමට සමත්වූ අතර, තරගාවලියේ ද්විත්ව ශුරතා දිනූ ප්‍රවීනා විජේසුන්දර පරාජය කරමින් කාන්තා ඒකල ශූරතාව දිනා ගැනීමට පංචාලි අධිකාරී සමත්වූවාය. පුත්තලම් දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමයේ සංවිධායකත්වයෙන් වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී නිමාවට පත්වූ මෙම තරගාවලියේ විවෘත පිරිමි ඒකල අවසන් මහා තරගයේදී තිළිණ රාජකරුණා ජයග්‍රහණය අත්කර ගනු ලැබුවේ ලකුණු 13-21ක්, 21-16ක් සහ 21-14ක් වශයෙනි. පංචාලි අධිකාරි විවෘත කාන්තා ඒකල අවසන් මහා තරගයෙන් ජයග්‍රහණය වාර්තා කරනු ලැබුවේ ලකුණු 21-10ක් සහ 21-14ක් ලෙසිනි.

 



 

ආශිංස හේරත් සහ ඇලන් ක්‍රිස්ටන්ටෝ එක්ව ලකුණු 18-21ක්, 21-19ක් සහ 21-16ක් ලෙස දිනුරු ප්‍රියශාන්ත සහ සියත් සේනාරත්න පරාජය කරමින් විවෘත පිරිමි යුගල ශූරතාව දිනාගත් අතර, විවෘත කාන්තා යුගල ශුරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 21-13ක් සහ 23-21ක් ලෙස විනුති රණසිංහ සහ යෙනාරා වික්‍රමසිංහ පරාජයට පත් කළ ප්‍රවීනා විජේසුන්දර සහ අනුරංගි මාස්කෝරල විසිනි. අචින්ත්‍ය ඉමේෂ සමඟ එක්ව තුලිත් පල්ලියගුරු සහ පංචාලි අධිකාරි ලකුණු 21-15ක් සහ 22-20ක් ලෙස පරාජය කළ ප්‍රවීනා විජේසුන්දර විවෘත මිශ්‍ර යුගල ශූරතාව දිනා ගැනීමට ද සමත්වූවාය.

කනිෂ්ඨ තරග අංශයේ අවුරුදු 19න් පහළ බාලක ඒකල ශුරතාව දිනා ගනු ලැබුවේ අවසන් මහා තරගයේදී ලකුණු 20-22ක්, 21-14ක් සහ 24-22ක් ලෙස මනෙත් විජේගුණවර්ධන පරාජය කළ තිඩස ඉරූෂික විසිනි. එම වයස් කාණ්ඩයේ බාලිකා ශූරතාව දිනා ගැනීමට තිසුරි ගුණවර්ධන සමත්වූයේ ලකුණු 21-18ක් සහ 21-16ක් ලෙස යෙනාරා වික්‍රමසිංහ පරාජයට පත් කරමිනි. ජනීෂ ද සිල්වා සහ තෙනුල් ගනේවත්ත එක්ව ලකුණු 21-19ක් සහ 21-15ක් ලෙස නෙතිල් තෙව්මික සහ මනෙත් විජේගුණවර්ධන පරාජය කරමින් අවුරුදු 19න් පහළ බාලක යුගල ශුරතාව දිනාගත් අතර, ලකුණු 21-12ක් සහ 21-17ක් ලෙස මෙතුලි නවරත්න සහ මිනූෂා පද්ම බණ්ඩාර පරාජය කරමින් එම වයස් කාණ්ඩයේ බාලිකා යුගල ශූරතාව දිනා ගැනීමට විනුති රණසිංහ සහ යෙනාරා වික්‍රමසිංහ සමත්වූහ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 675 දෙනකු සහභාගි වූ පුත්තලම් දිස්ත්‍රික් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට කුසලාන, පදක්කම් සහ සහතිකපත්වලට අමතරව රුපියල් 7,50,000ක මුදල් ත්‍යාග පිරිනැමුණු අතර, සංවිධායක මණ්ඩලයේ තීරණයකට අනුව කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල් ත්‍යාග වෙනුවට වෙනත් වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබිණි.

ජාතික ශ්‍රේණිගත කිරීම්වල පළමු මට්ටමේ තරගාවලියක් ලෙස පැවැති පුත්තලම් දිස්ත්‍රික් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියට McFoil, Mobil, Li-Ning, 3M සහ GAC අනුග්‍රාහකත්ව ලැබී තිබිණි.

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව