ඩුබායි ආර්ථිකයට ගුවන් සේවා ක්ෂේත්‍රයෙන් ලැබෙන දායකත්වය නවතම වාර්තාවකින් හෙළිදරව් වෙයි

A380 B777 DXB (LBN)

ඩුබායි ආර්ථිකයට ගුවන් සේවා ක්ෂේත්‍රය මගින් ඉටු කරන කේන්ද්‍රීය කාර්යභාරය තහවුරු කරන අධ්‍යයන වාර්තාවක් එමිරේට්ස් සමූහය සහ ඩුබායි ගුවන්තොටුපල සමාගම ප්‍රකාශයට පත් කර ඇත.

ගෝලීය පර්යේෂණ ආයතනයක් වන Oxford Economics විසින් සකස් කරන ලද මෙම අධ්‍යයනයේ ගුවන් සේවා අංශය විසින් ජනනය කරන ලද සෘජු ආර්ථික දායකත්වය, එම අංශයේ සැපයුම් දාමය හරහා ජනනය වන වක්‍ර දායකත්වය, මෙන්ම දේශීය ගුවන් සේවා ශ්‍රම බලකායේ වැටුප් සහයෙන් සිදුවන පරිභෝජනයෙහි දායකත්වය යනාදිය ඇතුළත් විය. තවද මෙම අධ්‍යනය තුළින් ඩුබායි හි ගුවන් සේවා අංශය මගින් සපයන ප්‍රවේශය නිසා සංචාරක ආදායම මත ඇති කරන උත්ප්‍රේරක බලපෑම ද එහි තක්සේරු කර ඇත.
 



 

එමිරේට්ස් සමූහය, ඩුබායි ගුවන් තොටුපල සමාගම සහ අනෙකුත් ගුවන් සේවා ආයතන වලින් සමන්විත වන ඩුබායි හි ගුවන් සේවා අංශය, 2023 දී, දළ එකතු කළ අගය (GVA) ලෙස ඩිරාම් බිලියන 137 ක (ඇමරිකානු ඩොලර් බිලියන 37.3 ක) දායකත්වයක් ලබා දී ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර, එය ඩුබායි හි දළ දේශීය නිෂ්පාදිතයෙන් 27% කට සමාන අගයකි. එමිරේට්ස් සහ ඩුබායි ගුවන් තොටුපල සමාගම මගින් 2030 වන විට ඩිරාම් බිලියන 196 ක් නැතහොත් ඩුබායි හි දළ දේශීය නිෂ්පාදිතයෙන් 32% ක දායකත්වයක් දෙනු ඇති බව මෙම අධ්‍යයනය පුරෝකථනය කරයි.

ගුවන් සේවා ක්ෂේත්‍රය මගින් ඩුබායි හි රැකියා 631,000 ක් බිහිකර ඇති අතර එම අගය, 2023 දී ඩුබායි හි සෑම රැකියා පහෙන් එකක් නියෝජනය කළේය. 2030 වන විට තවත් ගුවන් සේවාවන් ආශ්‍රිත රැකියා 185,000ක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන අතර එවිට ඩුබායි හි ගුවන් සේවා අංශයේ බලාපොරොත්තු වන මුළු රැකියා ප්‍රමාණය 816,000 ක් දක්වා වර්ධනය වනු ඇත.

ගුවන් සේවා අංශයේ අනාගත දියුණුව තහවුරු කිරීමට සහ එය ආර්ථික ධාවකයක් ලෙස පවත්වාගෙන යාම සඳහා ඩුබායි විසින් විශේෂ ආයෝජනයන් සිදු කරන බවට වන හොඳම සාක්ෂි වන්නේ Dubai World Central – Al Maktoum International හි අති නවීන පහසුකම් ඇති කිරීම සඳහා කළ ආයෝජනය සහ ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපල හි ධාරිතාව වැඩි කිරීමට සහ මෙහෙයුම් පුළුල් කිරීම සඳහා සිදු කරන ප්‍රධාන ආයෝජන පෙළයි. ඩිරාම් බිලියන 128 ක ආයෝජනයකින් ඉදි කරන නව ගුවන් තොටුපල, ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපල මෙන් පස් ගුණයක් විශාල වනු ඇති අතර එහි පළමු අදියර වසර 10කින් අවසන් කිරීමට නියමිත ය. සම්පූර්ණයෙන් ඉදිකර නිමකළ පසු Dubai World Central – Al Maktoum International ගුවන් යානා නැවතුම් 400 කට අධික ප්‍රමාණයක් සහ මගීන් මිලියන 260කට පහසුකම් සැපයිය හැකි ධාරිතාවකින් ද සමන්විත වනු ඇත.

ඩුබායි හි ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයේ වර්ධනය පිටුපස සිටින පුරෝගාමී බලවේගය ද එමිරේට්ස් ගුවන් සේවය වේ. සමස්තයක් වශයෙන්, ගුවන් සේවා ක්ෂේත්‍රයේ ආභාශය ලැබූ සංචාරක ආදායම ඩිරාම් බිලියන 43 ක දළ එකතු කළ අගයක්, එනම් ඩුබායි හි දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.5% ක දායකත්වයක් ලබා දී ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර එමගින් බිහිකර ඇති රැකියා ප්‍රමාණය 329,000 ක් වේ. එමිරේට්ස් ගුවන් සේවය සමඟ ඩුබායි වෙත පියාසර කරන්නන් විසින් මෙම GVA අගයෙන් භාගයකටත් වඩා එනම්, ඩිරාම් බිලියන 23ක් ම ජනනය කරයි.

වීඩියෝ පටයhttps://www.youtube.com/watch?v=kwbcAKdg1Ug
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව