ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ OCTAVE මෙරට දත්ත සහ උසස් විශ්ලේෂණ අධ්‍යාපනය නංවාලීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී

Image (LBN)

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දත්ත සහ උසස් විශ්ලේෂණ විශිෂ්ටත්ව මධ්‍යස්ථානය (Data and Advanced Analytics Centre of Excellence) වන OCTAVE, පසුගියදා කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශය සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට එළඹීමට කටයුතු කළේ ය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සහ කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න මහතා විසින් 2024 අගෝස්තු 15 දින අත්සන් තබන ලදි. රටේ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතන සමග හවුල්කාරීත්වයන් ගොඩනංවා ගැනීමේ උත්සාහය යටතේ මීට පෙර මොරටුව විශ්ව විද්‍යාලය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමගද මෙබඳු ගිවිසුමක් අත්සන් තැබීමට OCTAVE කටයුතු කළේ ය.

 



 

මෙම හවුල්කාරීත්වය යටතේ කොළඹ විශ්ව විද්‍යාලයේ දත්ත විශ්ලේෂණය සම්බන්ධ විෂය මාලාවන් වැඩිදියුණු කිරීම සඳහා එම විශ්ව විද්‍යාලය සමග සමීපව කටයුතු කිරීමට OCTAVE බලාපොරොත්තු වෙයි. මෙහි අරමුණ වන්නේ දත්ත විශ්ලේෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ක්‍රමවේදයන් විෂය මාලාවන්ට එක්කරමින්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එම ක්ෂේත්‍රය සම්බන්ධ නවතම දැනුම ලබාදීම ය. මෙහිදී දත්ත විද්‍යාව, යන්ත්‍ර ඉගෙනුම සහ දත්ත ඉංජිනේරුකරණය යනාදී විෂයන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති අතර, OCTAVE හි ප්‍රවීණ වෘත්තිකයන් කොළඹ විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සිදුකරනු ලබන ව්‍යාපෘතිවල අධීක්ෂකවරුන් ලෙස මෙන්ම එහි ආරාධිත දේශකවරුන් ලෙස කටයුතු කරනු ඇත.

එමෙන්ම කැපීපෙනෙන දක්ෂතා පෙන්නුම් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සීමාවාසික පුහුණු අවස්ථා ලබාදීමටද OCTAVE සැලසුම් කර තිබේ. මෙමගින් ඔවුන්ට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග සමීපව කටයුතු කරමින්, දත්ත විද්‍යාව, යන්ත්‍ර ඉගෙනුම, දත්ත ඉංජිනේරුකරණය, BI ඉංජිනේරුකරණය සහ උසස් දත්ත විශ්ලේෂණය යනාදී අංශ සම්බන්ධයෙන් තම දැනුම සහ පළපුරුද්ද වැඩිදියුණු කරගැනීමට අවස්ථාව හිමි වනු ඇත. මීට අමතරව, විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලබන රැකියා පොළ වැඩසටහන් ආදියට සහභාගී වෙමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දත්ත විශ්ලේෂණ ක්ෂේත්‍රය මෙන්ම එහි පවතින රැකියා අවස්ථා පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාදීමටද OCTAVE කටයුතු කරනු ඇත. එමගින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වඩාත් හොඳ වෘත්තීය ජීවිත ගොඩනංවා ගැනීමට උපකාරී වීමට මෙන්ම මෙරට බුද්ධි ගලනය සීමා කිරීමටද හැකිවනු ඇතැයි OCTAVE විශ්වාස කරයි. එමෙන්ම නවෝත්පාදන දිරිගන්වමින් ශ්‍රී ලංකාවේ දත්ත විශ්ලේෂණ ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා, අවස්ථාව ලැබෙන පරිදි සාමූහිකව පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදුකිරීමටද  දෙපාර්ශ්වය බලාපොරොත්තු වෙයි.

මෙම හවුල්කාරීත්වය, අනාගතයේ අතිදක්ෂ දත්ත සහ උසස් විශ්ලේෂණ  වෘත්තිකයන් පිරිසක් බිහිකරමින් රටේ දත්ත විශ්ලේෂණ ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා OCTAVE දරන උත්සාහයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි වේ.

කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී පරිපාලිත සමාගමක්ද වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 14,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 18ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ විසින් සිදුකරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව සිව්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව