ජෝන් කීල්ස් සමූහය රටේ අර්බුද හමුවේ දියත් කළ සහන වැඩසටහන් අති-සාර්ථකයි

Greenhouse at Cinnamon Bentota Beach (LBN)

 



 

 

2022 වර්ෂයේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවට පෙර නොවූ විරූ ආකාරයේ සමාජ-ආර්ථික ගැටලු රාශියකට මුහුණ දීමට සිදු විය. මෙම තත්ත්වය හමුවේ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය තම සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම හරහා සහන වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීමට පියවර ගත්තේ ය. ජෝන් කීල්ස් පදනමේ දැක්ම වන “බලගන්වමු දේශය හෙට දිනට” යන්නට සමගාමීව, සමූහයට අයත් ව්‍යාපාර සමග එක් වී දීප ව්‍යාප්ත මට්ටමින් ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහන් මේ වනවිට සාර්ථක ප්‍රතිඵල අත් කර ගෙන තිබේ.

මෙම වැඩසටහන්වල දී මූලික වශයෙන් සෞඛ්‍යය හා පෝෂණය, අධ්‍යාපනය සහ ජීවනෝපාය සංවර්ධනය යන අංශ තුන සම්බන්ධයෙන් අවධානය  යොමු විය. මාස හයේ සිට දොළහ දක්වා කාල සීමාවන් සඳහා සැලසුම් කරන ලද මෙම වැඩසටහන්වල අරමුණ වූයේ, ජනතාව ඒ වනවිට මුහුණ දෙමින් සිටි අභියෝගවලට ඉක්මන් විසඳුම් ලබාදෙන අතරම, දීර්ඝ කාලීනව ස්වයංපෝෂිත තත්ත්වයට පත්වීම සඳහා අවශ්‍ය කුසලතා සහ සම්පත් ඔවුන්ට ලබා දීම ය. මූලික අදියරවලින් අනතුරුව අදාළ වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යාමේ පූර්ණ වගකීම අදාළ පාර්ශ්වකරුවන් සහ ප්‍රජාවන් වෙත පැවරේ.

මෙම ප්‍රජා සත්කාර මාලාව යටතේ දියත් කළ මුල්ම වැඩසටහන් අතරින් එකක් වන ගෙවතු වගා වැඩසටහන මගින් සවිබල ගන්වන ලද පවුල් ගණන 1,284 කි. ජෝන් කීල්ස් සමූහයට අයත් ව්‍යාපාර පිහිටා ඇති ප්‍රදේශවලින් මෙම පවුල් තෝරා ගන්නා ලද අතර, ගෙවතු වගාවන් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය දැනුම, සහය සහ මග පෙන්වීම ඔවුන් වෙත ලබා දෙන ලදි. වඩාත් පහසුවෙන් හා ලාභදායී ලෙස ආහාර හා පෝෂණය ලබා ගැනීමේ මගක් ලෙස ගෙවතු වගාව දිරිමත් කිරීම මෙහි අරමුණ විය. මේ අතරින් පවුල් විශාල සංඛ්‍යාවක් තම එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් තරම් අස්වැන්නක් වාර්තා කිරීමට මේ වනවිට සමත් වී තිබේ.

තිරසාර වගාබිම් වැඩසටහන මේ යටතේ දියත් කරන ලද තවත් ප්‍රධාන පෙළේ වැඩසටහනකි. සිනමන් හෝටල් පිහිටි ප්‍රදේශ අවට ගොවිබිම් 28 ක් මේ සඳහා තෝරා ගන්නා ලද අතර, එම ගොවිබිම්වල මුළු වපසරිය අක්කර 19 කි. මෙය අදාළ ප්‍රදේශවල ජනතාවගේ ජීවනෝපාය මාර්ග නගාසිටුවීමට මෙන්ම ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව වර්ධනය කිරීමට මහෝපකාරී වී ඇත. මෙම වැඩසටහන ඔස්සේ නවීන කෘෂිකාර්මික භාවිතයන් වන බින්දු ජල සම්පාදන ක්‍රමය, කෘමි විකර්ෂක දැල්, පොලිතීන් වැසුම් (පොලිමල්ච්) සහ විසුරුම් ජලසම්පාදන ක්‍රමය වැනි ක්‍රම භාවිතා කිරීම සඳහා අවශ්‍ය උපකරණ, තාක්ෂණික සහය සහ මග පෙන්වීම ගොවීන් වෙත ලබා දෙන ලදි. මෙහි අමතර පියවරක් වශයෙන්, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී මගින් රණාල ප්‍රදේශයේ ද, කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් මගින් පන්නල ප්‍රදේශයේද ආදර්ශ ගොවිපොළවල් ස්ථාපිත කරන ලද අතර, සිනමන් බෙන්තොට බීච් සහ සිනමන් ලොජ් හබරණ යන හෝටල් මගින් හරිතාගාර ඉදි කරන ලදි. මෙම වැඩසටහන් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසකට ස්වයං-පෝෂිත තත්ත්වය ළඟා කර ගැනීමට මහෝපකාරී වී ඇති අතරම, සේවක සේවිකාවන්ට, මහ ජනතාවට සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කෘෂිකාර්මික ක්‍රමවේදයන් පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීමට ලැබෙන අගනා අවස්ථාවක් බවට ද පත් වී තිබේ.

2022 ජාතික ළමා දින වැඩසටහන්වලට සමගාමීව, ජෝන් කීල්ස් සමූහයට අයත් සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්, සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් සහ ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් යන සමාගම් සමග එක් වී ‘පාසල් දිරිය’ වැඩසටහන ආරම්භ කරන ලදි. මේ යටතේ බස්නාහිර, නැගෙනහිර සහ දකුණ යන පළාත්වල පාසල් 11 ක සහ උතුරුමැද පළාතේ පෙරපාසල් 3 ක දරුවන් 2,951 දෙනෙකුට දිවා ආහාරය ලබාදීම සිදුකෙරේ. එමෙන්ම 2023 මාර්තු මාසය වන විට, පාසල් 10 ක මුළුතැන්ගෙවල් ඉදි කර තිබූ අතර, ආහාරවේල් 125,977 ක් නොමිලේ ලබා දී තිබිණි. මීට අමතරව දරුවන්ට දිගින් දිගටම පෝෂ්‍යදායී ආහාරාපාන ලබා ගැනීමට හැකි වීම සඳහා එක් පාසලක ගෙවතු වගා නියමු ව්‍යාපෘතියක් ද ආරම්භ කරන ලදි. මෙම ව්‍යාපෘතිය සඳහා පාසල් භූමිය සකස් කිරීමේ දී දරුවන් හා ගුරුවරුන් පමණක් නොව දෙමාපියන් ද ඉමහත් උනන්දුවෙන් ඊට සහභාගී වූ අතර, එහි ප්‍රථම අස්වැන්නෙන් දරුවන් 126 දෙනෙකු සඳහා ආහාර පිළියෙල කිරීමට හැකි විය.

‘අධ්‍යාපනය’ අංශය යටතේ ජෝන් කීල්ස් පදනම මේ වනවිට ආර්ථික දුෂ්කරතාවන් සහිත ප්‍රජාවන්ගේ දරුවන්ට අඛණ්ඩව තම අධ්‍යාපන කටයුතු කර ගෙන යාම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමේ අරමුණින් වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නංවා ඇත. පූර්ව-සාමාන්‍ය පෙළ සිසු සිසුවියන්ගේ ඉංග්‍රීසි භාෂා හා තොරතුරු තාක්ෂණ කුසලතා වැඩි දියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහන, උසස් පෙළ හා විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශිෂ්‍යාධාර ලබාදෙන උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන සහ හඳුනා ගත් පාසල්වල සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ටැබ් උපාංග සහ ඩේටා පැකේජ ලබාදෙන ඩිජිටල් ඉගෙනුම් වැඩසටහන ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. 2022/2023 මූල්‍ය වර්ෂයේදී මෙම වැඩසටහන් මගින් සිසු සිසුවියන් 1,140 කට තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අත්වැලක් හිමි වී තිබේ. මීට අමතරව, දීර්ඝකාලීනව පාසල් වසා තැබීම සහ ක්‍රියාකාරකම් සීමා වීම වැනි ගැටලුවලට මුහුණ දීමට සිදු වූ දරු දැරියන්ගේ හා තරුණ තරුණියන්ගේ මානසික සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන් තවත් වැඩසටහන් මාලාවක් ද ක්‍රියාවට නංවන ලදි.

කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගමක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී පරිපාලිත සමාගමක්ද වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 14,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 17 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ විසින් සිද කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව තුන්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව