ජෝන් කීල්ස් සමූහය දරු උපතකදී මවටත් පියාටත් දින 100 ක නිවාඩු ලැබෙන මාතෘ-පීතෘ නිවාඩු ක්‍රමයක් හඳුන්වා දෙයි

Krishan Balendra_Chairperson JKH

 



 

 

 

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය තුළ විවිධත්වය, සාධාරණත්වය හා අන්තර්කරණය තහවුරු කිරීමේ උත්සාහයේ තවත් වැදගත් පියවරක් වශයෙන්, 2022 අගෝස්තු 02 දින සිට ක්‍රියාත්මක වන පරිදි, මාතෘ සහ පීතෘ නිවාඩු සමාන ලෙස ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාවට නංවා ඇත.

දරු උපතකදී හෝ දරුවෙකු හදා වඩා ගැනීමට ගැනීමේදී දරුවාගේ මවට හිමිවන දින 100 ක මාතෘ නිවාඩුව එලෙසින්ම ක්‍රියාත්මක වන අතර, මෙතෙක් දින 5 කට සීමා වී තිබූ පීතෘ නිවාඩුව දින 100 ක් දක්වා දීර්ඝ කර තිබේ. මෙය දරුවෙකු රැක බලා ගැනීමේදී මව සහ පියා යන දෙදෙනාටම වගකීම් පැවරෙන බව පිළිගනිමින්, සමානත්වය තහවුරු කිරීම සඳහා ගන්නා ලද පියවරකි. එමෙන්ම දරුවන් රැක බලා ගැනීම සම්බන්ධයෙන් සෑම පවුලකටම සුවිශේෂී වූ තත්ත්වයන් පවතින බැවින්, මෙම දින 100 නිවාඩුව නම්‍යශීලී ලෙස ලබාගත හැකි ආකාරයට සකස් කර තිබේ.

“මාතෘ හා පීතෘ නිවාඩු සමාන ලෙස ලබාදීමේ තවත් අරමුණක් වන්නේ, කාන්තාවන් සේවයට බඳවා ගැනීමේදී මාතෘ නිවාඩු සාධකය සැලකිල්ලට ගනිමින් ඔවුන්ට වෙනස් ලෙස සලකනු ලැබීමට ඇති ඉඩකඩ අවම කිරීයි. වසර 5 ක් තුළ අපගේ කාර්ය මණ්ඩලයේ කාන්තා ප්‍රතිශතය 40% ක් දක්වා ඉහළ නංවා ගැනීම ජෝන් කීල්ස් සමූහයේ එක් ප්‍රධාන ඉලක්කයක් වන බැවින්, සමූහයේ සාමාජික සාමාජිකාවන් සිය වෘත්තීය ජීවිතය තුළ මුහුණ දෙන, ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් සියලුම ආකාරයේ අසාධාරණයන් මුලිනුපුටා දැමීම අත්‍යවශ්‍ය දෙයක් බව අප විශ්වාස කරනවා.” ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පැවසී ය.

දරුවෙකු උපත ලැබීමේදී හෝ දරුකමට හදාවඩා ගැනීමේදී ලැබෙන පීතෘ නිවාඩුව දින 100 දක්වා වැඩි කිරීම තුළින්, සමූහයෙන් පිටත රැකියා වල නියුතුව සිටින, සමූහයේ සාමාජිකයන්ගේ සහකාරියන්ට අත්වැලක් වීමටද ජෝන් කීල්ස් සමූහය බලාපොරොත්තු වෙයි. මෙම නම්‍යශීලී විධිවිධාන මගින් රැකියාවන්හි නියුතු කාන්තාවන්ට ඔවුන්ගේ මාතෘ නිවාඩුවෙන් පසු නැවත තම සේවා ස්ථානයන්හි රැකියාවට යාමට අවස්ථාව ලැබෙන අතර, එමගින් සමාජය තුළ විවිධත්වය, සාධාරණත්වය සහ අන්තර්කරණය තහවුරු කිරීම සඳහා දරන උත්සාහය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි එම සමූහය අපේක්ෂා ආකාරයි.

ජෝන් කීල්ස් සමූහය විසින් ONE JKH සන්නාමය යටතේ විවිධත්වය, සාධාරණත්වය හා අන්තර්කරණය තහවුරු කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නංවනු ලබන අතර, ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගීත්වය වැඩි කිරීම, සැපයුම් දාමයේ සහ ප්‍රජාවන්හි කාන්තාවන් සවිබල ගැන්වීම, ආබාධ සහිත පුද්ගලයින් සඳහා වෘත්තීය අවස්ථා වැඩි කිරීම සහ LGBTIQ + ප්‍රජාවට සමාන අවස්ථාවන් සහතික කිරීම ආදිය ඔස්සේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ළඟා කර ගැනීමට සමූහය කැපවී සිටී.

කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී (JKH) හි පරිපාලිත සමාගමක් වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 14,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 16 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.

 

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව