ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය ජනවාරි 16 සිට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී මෙවර වාර්තාගත අයැදුම්පත් ප්‍රමාණයක්

Left to Right-Malika Waduge - Sri lanka school badminton secretary,Roshan Gunawardene- Vise president Sri Lanka Badminton,Rohan De Silva -Sri Lanka Badminton President, Rohana De Si (LBN)

 



 

 

පසුගිය වසරේ මෙරට පැවැති විවිධ ගැටලුකාරී තත්ත්වයන් හමුවේ පැවැත්වීමට නොහැකි වූ 2022 ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය මේ මස 16 වැනිදා සිට 20 දක්වා සුගතදාස ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සියලු කටයුතු සූදානම් කර තිබේ. මීට අමතරව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මූලස්ථානයේ ක්‍රීඩාගාරයේ සහ වෙළෙඳසේවා ක්‍රීඩා සංගම් බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ ද තරග පැවැත්වීමට කටයුතු යොදා ඇත. විස්මයජනක කරුණ වන්නේ මෙවර පෙර නොවූ විරූ අයුරින් වාර්තාගත අයැදුම්පත් ප්‍රමාණයක් ශූරතාවලිය සඳහා ලැබී තිබිමය.  නියමිත අයැදුම්පත් ප්‍රමාණය ඉක්මවමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1,500කට අධික පිරිසක් ශූරතාවලිය සඳහා අයැදුම්පත් යොමු කර ඇති අතර,  මේ වන විට එය 1,700ට ආසන්න වී තිබේ. මේ අතර අවුරුදු 40න් ඉහළ කාන්තා හා පිරිමි තරග අංශය සඳහා අයැදුම්පත් 84ක් ලැබී ඇති අතර, යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උනන්දුව සහ උද්යෝගය ද ඉහළින්ම පෙන්නුම් කෙරේ.

වසර ගණනාවක් පුරා මෙරට බැඩ්මින්ටන් ක්ෂේත්‍රය තුළ අනභිබවනීයත්වයට පත්ව සිට වත්මන් ජාතික ශූර නිලූක කරුණාරත්න දේශීය තරග බිමෙන් විශ්‍රාම ගෙන සිටින බැවින් මෙවර ඔහුගේ සහභාගීත්වය නොලැබීම කැපී පෙනෙන සිදුවීමකි. ඒ වෙනුවට ඔහුගේ සොහොයුරු දිනුක බ්‍රිතාන්‍යයේ සිට නැවත පැමිණ සිටින අතර, කරුණාරත්න පවුලේ බැඩ්මින්ටන් ආධිපත්‍යය තවදුරටත් ඉදිරියට රැගෙන යෑමට උත්සාහ දරනු ඇත. ඔහුට අභියෝග කරමින් විරේන් නෙත්තසිංහ, දුමිඳු අබේවික්‍රම සහ පසුගිය වසරේ අවසන් මහා තරගයට පිවිසි රසිඳු හෙන්දහේවා ද තරග බිමට පිවිසෙනු ඇත. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන බුවනෙක ගුණතිලක සහ රන්තුෂ්ක කරුණාතිලක ද ඒ අතර වෙති. මෙවර ශූරතාවලියේ කාන්තා තරග අංශය ද උණුසුම් මුහුණුවරක් ගනු ඇත. ප්‍රමුඛතම ක්‍රීඩිකාවන් වන තිළිණි හෙන්දහේවාට සහ කාවින්දි සිරිමාන්නගේට යොවුන් ක්‍රීඩිකාවන් වන රනිත්මා ලියනගේ සහ පංචාලි අධිකාරි ඇතුළු තවත් ක්‍රීඩිකාවන් රැසකගේ අභියෝගවලට මුහුණදීමට සිදුවනු ඇත. මෙවර ප්‍රවීණයන්ගේ තරග අංශයට මෙරට බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයන් රැසක් සහභාගි වීමට නියමිතය.

සංවිධායක කමිටුවේ නායකත්වය දරන තරගාවලි අධ්‍යක්ෂ රෝහණ ද සිල්වා සිය ජාත්‍යන්තර අත්දැකීම් භාවිත කරමින් මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ පුනර්ජීවය උදෙසා කැපවීමෙන් යුතුව කටයුතු කරන අතර, ඔහුට සහයෝගය දීම සඳහා බැඩ්මින්ටන් විධායක කමිටුවේ බොහෝ සාමාජිකයෝ කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් සිටින්නේ සභාපති රොහාන් ද සිල්වාගේ මෙහෙයවීම යටතේය. බැඩ්මින්ටන් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔහුගේ ත්‍යාගශීලී මූල්‍ය දායකත්වය කැපී පෙනේ.

මෙවර ශූරතාවලියේ මාධ්‍ය අනුග්‍රාහකයා ලෙස ‘ගජ ටීවී‘ කටයුතු කරන අතර, එය තරග නැරඹීමට ක්‍රීඩාංගණයට පැමිණීමට නොහැකි ප්‍රේක්ෂකයන්ට ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන බවට ඔවුන් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයට සහතික වී තිබේ. මීට අමතරව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ වෙබ් අඩවිය ඔස්සේ සහ මුහුණුපොත ඔස්සේ සජීවිව තරග විකාශ කිරීමට කටයුතු සලසා තිබේ. ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය ද පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බැඩ්මින්ටන් ක්‍රීඩාවට යොමු වීමට දිරිගන්වමින් මේ ප්‍රමුඛතම ශූරතාවලිය නැරඹීම සඳහා කොළඹ දිස්ත්‍රික් පාසල් සමඟ එක්ව  විශේෂ බස් රථ මගින් ප්‍රවාහන පහසුකම් සලසා දීමට සැලසුම් කර ඇත.

අවසන් මහා තරගයේ සහ වර්ණවත් සමාප්ති උත්සවයේ ගෞරවනීය ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහභාගි වීමට නියමිත අතර, සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. හිටපු ජාතික බැඩ්මින්ටන් ශූරයන් සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ හිටපු නිලධාරීන් ද විශේෂ ආරාධිතයන් ලෙස සහභාගි වීමට නියමිතය. තරගාවලියේ ප්‍රධාන තරග තීරක ලෙස සංජීව විජේසේකර මහතා කටයුතු කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව