ජාතික බාර්ටෙන්ඩර් තරගාවලිය වෙනුවෙන් IDL සහ SLHGA අත්වැල් බැඳගනී

Copy of image 2 (LBN)

2024 ජාතික බාර්ටෙන්ඩර් තරගාවලිය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ දේශීයව නිෂ්පාදිත විදේශ මත්පැන් වෙළඳපොළේ ප්‍රමුඛයා වන International Distillers Limited (IDL) සහ ශ්‍රී ලංකා සත්කාරක සේවා උපාධිධාරී සංගමය (Sri Lanka Hospitality Graduates Association – SLHGA) පසුගියදා අත්වැල් බැඳගත්තේ ය. මෙය ශ්‍රී ලංකාවේ mixology කලාව නව මානයකට රැගෙන යන හවුල්කාරීත්වයක් වනු නිසැක ය.

2024 මැයි 10 දින පැවැත්වුණු මාධ්‍ය හමුවකදී මෙම තරගය නිල වශයෙන් නිවේදනය කරන ලදි. මෙම අවස්ථාවට IDL සහ SLHGA නියෝජිතයන් සහභාගී වූ අතර, ශ්‍රී ලංකාවේ කීර්ති නාමය ජාත්‍යන්තර තලය වෙත ගෙනයාම සඳහා එම තරගය යොදාගත හැකි ආකාරය පිළිබඳව ඔවුහු අදහස් දැක්වූහ. මෙහි අවසන් මහා තරගය 2024 ජූනි 16 දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට නියමිත ය.

 




 

ගෝලීය වසංගත තත්ත්වය සහ රට මුහුණ දුන් විවිධාකාර අභියෝග හේතුවෙන් දීර්ඝ කාලයක් නොපැවැත්වුණු ජාතික බාර්ටෙන්ඩර් තරගාවලිය 2023 වර්ෂයේදී නැවත ආරම්භ විය. මෙය මෙරට බාර්ටෙන්ඩර්වරුන්ට තම දක්ෂතා කරළියට රැගෙන එන අතරම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට දායක වීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි. එමෙන්ම මෙම තරගාවලිය යටතේ විවිධාකාර වූ පුහුණු වැඩසටහන්, සම්මන්ත්‍රණ, වැඩමුළු සහ වෙනත් කුසලතා සංවර්ධන වැඩසටහන්ද සංවිධානය කෙරේ. මූලික වටයේ ප්‍රාදේශීය පුහුණු සැසි 6 ක්, අර්ධ අවසාන වටයක් සහ අවසාන මහා තරගයක් සහිත මෙම තරගාවලිය, දිවයින පුරා බාර්ටෙන්ඩර්වරුන්ට තම කුසලතා වැඩිදියුණු කරගනිමින් දක්ෂතා එළිදැක්වීමට අවස්ථාව සලසා දෙයි. තරගාවලියේ සංවිධාන කටයුතු සිදුකරනු ලබන්නේ ඩික්සන් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සංවිධායක කමිටුව විසිනි.

“මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ බාර්ටෙන්ඩින් කලාවේ නව මානයක් සනිටුහන් කරන තරගාවලියක් බව අප විශ්වාස කරනවා. ඕනෑම වැඩසටහනක් සාර්ථක වන්නේ එහි හවුල්කරුවන්ගේ කැපවීම මතයි. අප තරමටම මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට කැප වී සිටින IDL වැනි හවුල්කරුවෙකු ලැබීම අපගේ වාසනාවක්. ඔවුන්ගේ දායකත්වය නිසා මෙය රටේ Mixology තරග අතර ප්‍රමුඛතම මෙන්ම ජනප්‍රියතම තරගාවලියක් බවට පත්කිරීමට අපට හැකි වී තිබෙනවා.” SLHGA සභාපති පැට්‍රික් පෙරෙයිරා මහතා පැවසී ය.

“බාර්ටෙන්ඩින් කලාවේ නවෝත්පාදන සහ විශිෂ්ටත්වය වෙනුවෙන් අප හදවතින්ම කැප වී සිටිනවා. SLHGA සමග අත්වැල් බැඳගැනීම නිසා අපට රටේ mixology කලාව දියුණු කිරීමට මෙන්ම, බාර්ටෙන්ඩර්වරුන්ට තම දක්ෂතා සහ නිර්මාණශීලීත්වය ජාතික මට්ටමේ වේදිකාවක ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබා දීමට හැකි වී තිබෙනවා. මෙය රටේ සත්කාරක ක්ෂේත්‍රයේ නව අවස්ථා නිර්මාණය කරමින් සමස්තයක් ලෙස රටේ සංචාරක කර්මාන්තය නගාසිටුවීමට දායක වන පියවරක් වේවි.” IDL අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කෙමාල් ද සොයිසා මහතා පැවසී ය.

“මෙම වසරේදීත් මෙම තරගාවලියට තාක්ෂණික මගපෙන්වීම ලබාදීමට හැකි වීම අපට මහත් සතුටක්. එමෙන්ම ශිෂ්‍යයන්ට තම හැකියාවන් කරළියට රැගෙන ඒමට IDL ලබාදෙන සහයෝගය වෙනුවෙන් අප ඔවුන්ට කෘතඥ වනවා. ඊට අමතරව මෙය සාර්ථක කරගැනීම සඳහා අඛණ්ඩව ලබාදෙන සහයෝගය සහ ඉටුකරන කේන්ද්‍රීය භූමිකාව වෙනුවෙන් SLHGA වෙත අපගේ ස්තූතිය හිමි විය යුතුයි. තරගාවලියේ සියලුම තරගකරුවන්ට සුබපැතුම් එක්කිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. මෙම තරගාවලිය කාටත් අමතක නොවන අත්දැකීම් රැසක් තිළිණ කරන තරගාවලියක් වනු ඇති බවට සැකයක් නැහැ.” Sri Lanka Institute of Tourism & Hotel Management හි සභාපති ශිරන්ත පීරිස් මහතා පැවසී ය.

ශ්‍රී ලංකාව ලොව සංචාරක කේන්ද්‍රස්ථානයක් වශයෙන් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින මේ මොහොතේ, රටට වැඩි වැඩියෙන් සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සහ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ ගමනාන්තයක් බව ලොවට පෙන්වා දීම සඳහා මෙවැනි තරග අතිශයින් වැදගත් ය. IDL සහ SLHGA හවුල්කාරීත්වයේ මහඟු ප්‍රතිඵලයක් වන මෙම තරගය ශ්‍රී ලංකාවේ බාර්ටෙන්ඩින් කලාවේ නව මානයන් සනිටුහන් කරනු නො-අනුමාන ය.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 + fourteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව