ජනාධිපති කාර්ය සාධක බලකා ප‍්‍රධානී බැසිල් රාජපක්ෂ වටවල කිරි ගොවිපොළේ නිරීක්ෂණ සංචාරයක

Image (8)

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා ගිනිගත්හේන ලොනාච් වතුයායේ පිහිටි වටවල ඬේරි ලිමිටඞ් සමාගමට අයත් වටවල කිරි ගොවිපොළ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී විය.

නවීනතම පහසුකම්වලින් සමන්විත මෙම වටවල ඬේරි ලිමිටඞ් සමාගම, මෙරට ප‍්‍රධාන පෙළේ විවිධාංගීකරණය වූ කෘෂිව්‍යාපාරික සමාගමක් වන වටවල වැවිලි සමාගමේ 100%ක හිමිකාරීත්වය සහිත අනුබද්ධිත සමාගමකි. මෙම කිරි ගොවිපොළ සතුව අද වන විට කිරි දෙනුන් 1,600ක සංඛ්‍යාවක් සමඟ අති නවීනතම කිරි එකතු කිරීමේ උපාංග හරහා වාර්ෂිකව කිරි ලීටර් මිලියන 6කට අධික ප‍්‍රමාණයක් එකතු කරනු ලැබේ. එය දෛනිකව නැවුම් කිරි ලීටර් 17,000ක ප‍්‍රමාණයකි. බැසිල් රාජපක්ෂ මහතාගේ මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා සන්ෂයින් හෝල්ඩිංග්ස් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ විෂ් ගෝවින්දස්වාමි, වටවල වැවිලි සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී බිනේෂ් පනන්වල සහ වටවල ඬේරි ලිමිටඞ් සමාගමේ නිලධාරීන් කිහිප දෙනෙකු ද සහභාගි විය.

 

 



 

 

මෙම චාරිකාව අතරතුර අදහස් දැක් වූ බැසිල් රාජපක්ෂ මහතා ‘‘දේශීය කිරි නිෂ්පාදනය ප‍්‍රවර්ධනය කරමින් හා කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීමට රජය ගන්නා උත්සාහයට කැපවෙමින් වටවල වැවිලි සමාගම ඉතාමත් සාර්ථක කිරි නිෂ්පාදනයක් සිදු කරමින්, රටෙහි ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙනවා’’ යනුවෙන් පැවසුවේය. මීට අමතරව, ගොවිපොළට සැපයීම සඳහා අවශ්‍ය බඩඉරිඟු, තණකොළ හා අනෙකුත් බවබෝග වගා කිරීමට එම ප‍්‍රදේශයේ පවුල් වෙත කුඩා ඉඩම් කැබලි ලබා දී ඔවුන්ට අමතර ආදායමක් හිමි කර දීමට සමාගමේ කැපවීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ප‍්‍රශංසා කළේය. එමෙන්ම, ගොවිපොළ සතු දියුණු තාක්ෂණයේ සහාය ඇතිව බඩඉරිඟු භාවිතා කරමින් ගවයින්ගේ ආහාර සැකසීමේ ක‍්‍රියාවලිය සිදු වන අතර ගොවිපොළට බඩඉරිඟු සපයන ගොවීන්ගේ ආදායම් මට්ටම ඉහළ නැංවීමට මෙම පියවර ඉවහල් වූ බව රාජපක්ෂ මහතා සඳහන් කළේය. ගවයින්ගේ ගොම භාවිතා කරමින් ජීව වායු හා කාබනික පොහොර නිෂ්පාදනය කිරීම ඇතුළු තිරසාර කෘෂිව්‍යාපාරික භාවිතයන් සංවර්ධනය කිරීම සඳහා නව ආදායම් මාර්ග ඇති කිරීමට ද ඔහු මෙහිදී යෝජනා කර ඇත.

ශ්‍රී ලංකාවේ නැවුම් කිරි නිෂ්පාදනය වේගවත් කිරීමට WDL අරමුණ කරගෙන සිටින අතර සෞඛ්‍ය සම්පන්න පශු සම්පත එනම් සතුන්ගේ සෞඛ්‍ය හා සුභසාධනය ඉහළ කිරි අස්වැන්නක් හා කිරිවල ගුණාත්මකභාවයට හේතු වන බව සමාගම දැනුවත්ය. එමෙන්ම පිරිසිදු ජලය ප‍්‍රමාණවත් ලෙස සැපයීම, ඝන ද්‍රව්‍ය බැහැර කිරීම සහ අපජල කළමනාකරණ පද්ධතිය ඇතුළුව ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව දැඩි සනීපාරක්ෂක ගොවිපල කළමනාකරණ ක‍්‍රමවේදයක් ගොවිපල තුළ ක‍්‍රියාත්මක කර ඇත.

එමෙන්ම එක් එක් කිරි ගවයාගේ කිරි අස්වැන්න හා නිෂ්පාදිත කිරිවල ගුණාත්මකභාවය අධීක්ෂණය කළ හැකි ජාත්‍යන්තර මට්ටමේ පරිගණක ගත කළ, ස්වයංක‍්‍රීය, අතිනවීන කිරි දෙවීමේ පද්ධතියක් ද WDL හි ඇත. මීට අමතරව, කිරි ගොවිපොළේ සිටින කිරි දෙනුන්ගේ සෞඛ්‍ය පිළිබඳව නිරන්තරයෙන් සොයා බැලීම සඳහා පශු ශල්‍ය වෛද්‍යවරුන් තිදෙනෙකු ද සමාගම තුළ සේවයේ යොදවා ඇත.

වටවල ඬේරි සමාගම පරිසරයේ තිරසාරබව සහ වතු ප‍්‍රජාවගේ සමාජ-ආර්ථික දියුණුව සහතික කිරීම සඳහා කැපවී කටයුතු කරයි. එසේම, අපද්‍රව්‍ය කළමනාකරණ නිසි පරිදි සිදු කරමින් ගොවිපොළ හරහා සිදුවන හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමටත්, බලශක්ති අවශ්‍යතාව සපුරාලීම සඳහා දෙනුන්ගේ අපද්‍රව්‍ය හරහා ජීවවායුව නිෂ්පාදනය කිරීම පාසල්වලට කිරි බෙදා දීම ගොවිපල අවට ගම්මාන සඳහා ජලය බෙදා හැරීමේ යෝජනා ක‍්‍රම මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ආදිය සමාගමේ ප‍්‍රධාන වැඩසටහන්වලින් කීපයකි.

 

 

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව