ගෝලීය කර්මාන්ත ක්ෂේත්‍රයේ නවෝත්පාදකයෙකු සහ Brandix අධිපති අෂ්රොෆ් ඕමාර්ගෙන් ALFT ප්‍රමිතීන් වෙත පැසසුම්

Image 2 (LBN)

2025 පෙබරවාරි 25: නම්‍යශීලී ඇසුරුම්කරණ විසඳුම් සඳහා ශ්‍රී ලාංකික පුරෝගාමියෙකු වන ALFT Packaging නවීන නිෂ්පාදනාගාරයේ ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා, සුප්‍රකට කර්මාන්තකරුවෙකු වන අෂ්රොෆ් ඕමාර් පසුගිය දා එක් විය. ඔහු සමඟ මෙම චාරිකාවට Phoenix Industries හි අධ්‍යක්ෂ විධායක අනම් ඕමාර් ද සහභාගී විය. නව්‍ය තාක්‍ෂණය සහ තිරසර භාවිතයන් තුළින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හැකියාවන් ඉදිරියට ගෙන යාම සඳහා ALFT දක්වන කැපවීම මෙම චාරිකාව තුළ විශේෂයෙන් කැපී පෙනුණි.

 



 
Brandix සමාගමේ සභාපතිවරයා ලෙස දශක හතරක් පුරා ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ කැපී පෙනෙන පරිවර්තනයක් උදෙසා මූලික කාර්යභාරයක් ඉටු කළ ඕමාර් මහතා, ALFT හි මෙහෙයුම් කටයුතු සහ උපායමාර්ගික දැක්ම පිළිබඳ සිය හෘදයාංගම ප්‍රසාදය පළ කළේය.

ආසියාව පුරා රැකියා 60,000කට වඩා නිර්මාණය කරමින්, ලොව ප්‍රථම ශුද්ධ-ශුන්‍ය කාබන් සහ LEED ප්ලැටිනම් සහතික ලත් ඇඟලුම් නිෂ්පාදනයේ නිර්මාතෘ ලෙස – ඇඟලුම් කර්මාන්තය පිළිබඳ ඔහු සතු විශේෂඥතාව අසමසම වූවකි. තිරසර නිෂ්පාදන පිළිවෙත් පිළිබඳ ඕමාර්ගේ පුරෝගාමී නායකත්වය මෙන්ම ගෝලීය මිනුම් දඬු සැකසීම සඳහා දායක වූ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ලෙස ඔහුගේ අනුමැතිය හිමි වීම ALFT හි අනාගත ගමන් මඟ සඳහා ලබා දෙන්නේ සුවිශේෂී වටිනාකමකි.

මෙම චාරිකාව අතරතුර, ALFT Packaging හි නව ප්‍රවේශය සහ මෙහෙයුම්වල විශිෂ්ටත්වය පිළිබඳ තමන් විශේෂයෙන් පැහැදුණු බව ඔහු සඳහන් කළේය. “මගේ පළමු ප්‍රතිචාරය නම් මෙය ඉතා විස්මයජනක බවයි. මම ඇඟලුම්, ප්ලාස්ටික්, ඇලුමිනියම් සහ වෙනත් විවිධ කර්මාන්ත ගණනාවක් දැක තිබුණත්, ALFT හි දැක්ම සහ මෙහෙයුම්කරණය දැකීමෙන් මම පුදුමයට පත් වුණා. මෙම පහසුකම පිහිටුවා ඇති සමස්ත දර්ශනයම ඉතාමත් විස්මයජනකයි.”

ගෝලීය වෙළෙඳපොළ තුළ වෙනසක් ඇති කිරීම සඳහා ALFT Packaging හි ප්‍රවේශය ශ්‍රී ලංකාවට ගැලපෙන ආකාරය ඕමාර් විශේෂයෙන් අවධාරණය කළේය. “අපි කුඩා රටක්. අප අන් සියල්ලන්ටම වඩා යමක් කළ යුතුයි. ALFT එය සාර්ථකව ඉටු කර තිබෙනවා.” ඔහු මෙසේ සඳහන් කළේ නිෂ්පාදනය සඳහා සමාගමේ නව්‍ය ප්‍රවේශය අගය කරමිනි.

සමාගමේ පුළුල් මෙහෙයුම් විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය සඳහා ඇති ශක්තිමත් උනන්දුව පිළිබඳ සඳහන් කරමින්, ALFT ඇසුරුම්කරණයට දීප්තිමත් අනාගතයක් ඇති බව ඔහු මෙසේ පුරෝකථනය කළේය. “කාලයත් සමඟ ALFT දැවැන්ත ව්‍යාපාරයක් වන බව මට විශ්වාසයි. ඒ අන් කිසිවක් නිසා නොව, ඔවුන්ගේ දැක්ම සහ උනන්දුව නිසයි.”

ALFT Packaging හි අති නවීන පහසුකම ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අංශයේ සැලකිය යුතු දියුණුවක් නියෝජනය කරන අතර, තිරසර භාවිතයන් පවත්වා ගනිමින් ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව තරඟ කිරීමට රටට ඇති හැකියාව ද මැනවින් පෙන්නුම් කරන්නකි.

නම්‍යශීලී ඇසුරුම්කරණ විසඳුම්වල කලාපයේ ප්‍රමුඛයෙකු ලෙස, ALFT ඇසුරුම්කරණය ගුණාත්මකභාවය සහ පාරිභෝගික කේන්ද්‍රීය නවෝත්පාදනයන් කෙරෙහි නිරන්තර අවධානයක් යොමු කරමින්, කර්මාන්ත මිණුම්දඬු සලකුණු කිරීමට අඛණ්ඩව දායක වෙමින් සිටියි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව