ගැටලු රැසක් ඇති විය හැකි බැවින් සීනි ආනයන බද්ද ඉහළ නොදමන්නැයි ආනයනකරුවෝ ජනපතිගෙන් ඉල්ලති

Sugar Importers (LBN)

සීනි ආනයනය මත දැනට පනවා ඇති බද්ද ඉහළ නොදමන ලෙස සීනි ආනයනකරුවන් ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ එවැනි බදු ඉහළ දැමීමක් සිදු කළහොත් සීනි මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හරහා පාරිභෝගිකයින් දැඩි ලෙස අපහසුතාවයට පත් වනු ඇති බවයි.

පසුගිය රජය සමයේ ගනු ලැබූ තීරණයක් අනුව ආනයනය කරන ලද සීනි කිලෝවක් මත මේ වන විට පනවා ඇති බදු මුදල රුපියල් 50ක් වේ. ඊට පෙර ආනයනික සීනි කිලෝවක් සඳහා අයකරනු ලැබුවේ ශත 25ක් වැනි ඉතා අවම බද්දකි. ක්ෂේත්‍රයට අදාළ වාර්තා අනුව ශ්‍රී ලංකාව මසකට සීනි මෙට්‍රික් ටොන් 60,000ක් පමණ ආනයනය කරන අතර, ඒ හරහා රුපියල් බිලියන 3කට ආසන්න බදු ආදායමක් රජයට හිමි වේ.
 



 

ආනයනකරුවන් වැඩිදුරටත් සඳහන් කළේ පැලවත්ත සහ සෙවණගල වැනි දේශීය සීනි නිෂ්පාදන සමාගම් ආරක්ෂා කිරීමේ අරමුණින් පසුගිය රජය සමයේ සීනි ආනයන බදු ඉහළ දැමූ බවයි. කෙසේ වෙතත්, සීනි මෙට්‍රික් ටොන් 60,000ක් පමණ ගබඩා කර ගෙන සිටින ආනයනකරුවන් කිහිප දෙනෙක් අතරමැදි පාර්ශ්ව හරහා විවිධ උපක්‍රම භාවිතා කරමින් දැනට පවතින රුපියල් 50ක බද්ද රුපියල් 80 දක්වා ඉහළ දැමීමට බලපෑම් කරමින් සිටින බව ඔවුහු සඳහන් කළහ.

ආනයනකරුවන්ට අනුව, අදාළ බද්ද රුපියල් 30කින් ඉහළ දැමුවහොත් විශාල සීනි තොග රඳවා ගෙන සිටින ආනයනකරුවන්ට කිසිදු අමතර වියදමකින් තොරව රුපියල් බිලියන 1.8ක අමතර ආදායමක් ලැබෙනු ඇත. කෙසේවෙතත් එවැනි තීරණයක් ගතහොත් ඒ හරහා මේ වන විට සීනි තොග ඇණවුම් කර ඇති සහ කරමින් සිටින, මහා පරිමාණ ගබඩා පහසුකම් නොමැති කුඩා සහ මධ්‍යම පරිමාණ ආනයනකරුවන් දැඩි අපහසුතාවයට පත් වනු ඇති බවත් ඔවුහු සඳහන් කළහ.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ ආනයන බද්ද ඉහළ දැමුවහොත් තේ, බේකරි නිෂ්පාදන, රසකැවිලි, සහ පාන වර්ග වැනි භාණ්ඩ රැසක මිල ඉහළ යන බැවින් පාරිභෝගිකයින්ද දැඩි අපහසුතාවයට පත් වනු ඇති බවයි. අනිකුත් රටවලට සාපේක්ෂව දැනටමත් සීනි ආනයනය මත ඉහළ බද්දක් පනවා ඇති පසුබිමක එය තවදුරටත් ඉහළ දැමීම තුළින් කෘත්‍රිම හිඟ, වෙළෙඳපොල විකෘතිතා, සහ අනවශ්‍ය ගැටලු ගණනාවක් උද්ගත වීමේ අවධානමක් තිබේ.

දේශීය වශයෙන් නිෂ්පාදනය කරන දුඹුරු සීනි පිරිපහදු කර නොමැති බැවින් රසකැවිලි, පාන වර්ග, සහ බේකරි නිෂ්පාදන සඳහා ඒවා යොදා ගත නොහැක. එමෙන්ම, මෙරට දේශීය වශයෙන් නිෂ්පාදනය කරන සීනි ප්‍රමාණය දේශීය අවශ්‍යතාවයෙන් 10%ක් පමණි.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 + 9 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව