කෝවිඩ් වසංගතයට මුහුණදුන් ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන්ගේ ජීවන අරගලය හෙළිකරන අමන් අෂ්රෆ්ගේ “ඔඩ්ඩමාවඩි” වාර්තා චිත්‍රපටය

3 (LBN)

අමන් අෂ්රෆ් විසින් අධ්‍යක්ෂණය කළ “ඔඩ්ඩමාවඩි” වාර්තා චිත්‍රපටයේ පළමු තිරගතකිරීම ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන් ජූලි 10 වැනි බදාදා දින කොළඹ පීවීආර් සිනමාහලේදී සිදුකෙරිණ. එම අවස්ථාවට රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන්, තානාපති සේවයේ නියෝජිතයන් හා ව්‍යාපාර ආයතන ප්‍රධානීන් ඇතුළු සම්භාවනීයන් රැසක් සහභාගී වූහ.

 



 

කොරෝනා වසංගතයට බිලිවූ තම ආදරර්‍ණයන්ගේ අහිමිවීම් වේදනාවත් එම කාලසීමාවේදී බලාත්මක කරන ලද අනිවාර්යය ආදාහන ප්‍රතිපත්තිය නිසා තම ආගමික හා සංස්කෘතික චාරිත්‍ර ධර්ම අනුව මියගිය නෑ හිතමිතුරන්ට අවසන් ගෞරවය දැක්වීමට නොහැකිවීමේ බලවත් චිත්ත පීඩාවටත් මුහුණ දුන් ශ්‍රී ලාංකීය මුස්ලිම් ප්‍රජාවගේ අතිශය සංවේදී පැතිකඩක් මෙම වාර්තා චිත්‍රපටය හරහා නිරූපණය කොට ඇත.

2019 වසරේ අගභාගයේදී උද්ගත වූ කෝවිඩ් 19 වසංගත තත්ත්වය නිසා 17,000 කට අධික ශ්‍රී ලාංකික ජීවිත සංඛ්‍යාවක් ජාතියට අහිමි වූ අතර පොදුවේ සියළුදෙනා ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක්ඛිත තත්ත්වයට මුහුණ දුන් අතර මුස්ලිම් ජනතාව තමන්ගේ ඇදහිලි හා විශ්වාසයන් අනුව අවසන් ගෞරවය දැක්වීමට නොහැකිවීමේ අතිරේක චිත්ත පීඩාවටත් මුහුණදුන්හ.

“ඔඩ්ඩමාවඩි” අධ්‍යක්ෂක අමන් අෂ්රෆ් එවැනි නිර්මාණයක් සිදුකිරීමට පසුබිම් වූ හේතු සාධක පිළිබඳ අදහස් දක්වමින් “මගේ මිනිසුන් ගැන නිර්මාණය කළ මෙම වාර්තා චිත්‍රපටය හුදෙක් මුස්ලිම්වරුන්ගේ කතාවක් නොවෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලාංකීය පුරවැසියන්ට හිමි අයිතිය පවා වාරණය කළ පසුබිමක නිහඬව පීඩාවන් උසුලන්නට සිදුවූ ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ කඳුළු කතාවක් යැයි හඳුන්වන්නට කැමතියි. එක අතකට මේ චිත්‍රපටය විවිධ ශ්‍රී ලාංකික ජනවර්ග හා ආගම් නියෝජනය කළ වෘත්තිකයන් පිරිසක් එකමුතුව අපේම සහෝදර ජන සමූහයකට සිදුවූ අසාධාරණයක් වෙනුවෙන් සිදුකළ සමාජ විවරණයක්. මේ චිත්‍රපටය වටා එකමුතු වූ අප සියළු දෙනාට අවශ්‍ය වූයේ කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට නැවත කිසිදිනෙක එවැනි අසාධාරණයක් නොවන්නට යම් සමාජ කතිකාවක් ගොඩනැංවීමටයි.” යැයි පැවසීය.

බ්ලැක් කොෆී ෆිල්ම්ස් නිෂ්පාදනයක් ලෙස එළිදැක්වුන “ඔඩ්ඩමාවඩි” වාර්තා චිත්‍රපටයට එයට තුඩුදුන් මතභේදකාරී වාතාවරණය ගැඹුරින් විවරණය කළ සමාජ ක්‍රියාකාරීන්, රාජ්‍ය නියෝජිතයන් හා වෛද්‍ය වෘත්තිකයන් රැසක් සමග සිදුකළ සම්මුඛ සාකච්ඡා කිහිපයක් ඇතුලත් වේ.

මෙම වාර්තා චිත්‍රපටයට “ඔඩ්ඩමාවඩි” යැයි නම තෝරාගෙන ඇත්තේ කොරෝනා ආසාධිත මෘත ශරීර වෙනුවෙන් වෙන් කළ සුසාන භූමිය පිහිටි මඩකලපුවට නුදුරු ගම්මානයේ නම ඔඩ්ඩමාවඩි වීම හේතුකොටගෙනය.

බ්ලැක් කොෆී ෆිල්ම්ස් නිෂ්පාදනයක් ලෙස එළිදැක්වූ “ඔඩ්ඩමාවඩි” ශ්‍රී ලාංකීය වාර්තා චිත්‍රපට ක්ෂේත්‍රයේ නව දිශානතියක් සනිටුහන් කිරීමට සමත්වූ අනගි නිර්මාණයකි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව