කැළණිවැලි ප්ලාන්ටේෂන් සමාගමට අයත් හල්ගොල්ල වතු යාය ප්‍රථම වරට ගෝලීය තිරසාරත්ව ජයග්‍රහණ 3ක් හිමි කර ගනියි

Image 01 (1) (LBN)
  • පුනර්ජනනීය කෘෂිකර්ම සහතිකය ලත් ලෝකයේ පළමු වතුයාය
  • ලොව ප්‍රථම දැනුම් ගවේෂණ සංකල්පය
  • ජෛව විවිධත්ව සංරක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීම ලොව ප්‍රථම තේ වතු යාය

කැලණිවැලි ප්ලාන්ටේෂන් සමාගමට අනුබද්ධ හල්ගොල්ල වතුයාය ලොව ප්‍රථම වරට විශිෂ්ට ජයග්‍රහණ 3ක්  තමන් සතු කරගත් බව කිංග්ස්බරි හෝටලයේදී පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කරන ලදී. එම අවස්ථාව සඳහා හේලීස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ, නෙදර්ලන්ත තානාපති ගරු Bonnie Horbach, නෙදර්ලන්ත ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කෘෂිකර්මය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති උපදේශක නිශාන් දිසානායක, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ මෙහෙයුම් උප ප්‍රධානී Katsuki Kotaro යන මහත්ම මහත්මීන් සමඟින් ක්ෂේත්‍රය හා සම්බන්ධ වෘත්තිකයින්, තිරසාර විශේෂඥයන් සහ විද්වතුන් රැසක් එක්ව සිටියහ.

 


 

එසේම ආසියානු කලාපීය පාලන සංගමයේ සභාපති හා  අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික Dirk Teichert, ශ්‍රී ලංකාවේ සහ මියන්මාරයේ පාලන සංගමයේ කළමනාකාර අධ්‍යක්ෂ රොෂාන් රණවක, ජාත්‍යන්තර සොබා සංරක්ෂණ සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය ශාමෙන් විදානගේ, ජාත්‍යන්තර සොබා සංරක්ෂණ සංගමයේ නිලධාරීන්, ඉහළ පෙලේ විද්වතුන්, තේ සහ කෘෂිකාර්මික අංශයේ නිලධාරීන් මෙන්ම හේලීස් සමූහයේ නිලධාරීන් රැසක්ද ඊට එක් වූහ.

හල්ගොල්ල වතුයාය අත්පත් කරගත් මෙම සුවිසල් ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ හේලීස් සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ මහතා “අපගේ ව්‍යාපාරයන් අතරට මේ ආකාරයේ ආදර්ශමත් වතු යායක් හිමි වීම අප ලද ගෞරවයක් කොට සැලකීමට කැමතියි. වතුයාය තුළ පවතින සියලු සම්පත් ආරක්ෂා කිරීමට කැපවී කටයුතු කරන හල්ගොල්ල වතුයාය අද වන විට ලොව ඉහළම වටිනාකම් සහිත වතුයාය බවට පිළිගැනීමට ලක්ව තිබෙනවා. මෙරට සමස්ත වැවිලි ක්ෂේත්‍රයටම කදිම ආදර්ශයක් සපයන හල්ගොල්ල වතුයාය දේශීය, කලාපීය හා ගෝලීය වැවිලි කර්මාන්තයේ අනාගතය වෙනුවෙන් තිරසාරත්වයන් හා නවෝත්පාදනයන්හි නිජබිමක් ලෙස සඳහන් කළ හැකියි” යනුවෙන් සඳහන් කරන ලදී.

මෙහිදී Regenagri සහතිකයෙන් පිදුම් ලැබීමට හල්ගොල්ල වතුයාය සමත් වූයේ පසෙහි සාරවත් බව සුරැකීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, හරිතාගාර වායු විමෝචනය අවම කිරීම හා කාබන්ඩයොක්සයිඩ් ශුන්‍ය කිරීම වැනි විවිධ තිරසාර භාවිතයන් අනුගමනය කිරීම හේතුවෙනි. ඒ පිළිබඳව සිදු කළ ඇගයීම තුළින් වතුයාය මඟින් ඉහළ පාරිසරික ප්‍රමිතීන් අනුගමනය කරන බවට සහතික කර ඇත. මෙම වැඩසටහනේදී කාබන් අලෙවි වෙළෙඳපොල හා පාරිසරික සහනාධාර තුළින් ගොවීන් හට අමතර අරමුදල් සපයා ගැනීමේ අවකාශ උදා කර දීමද විශේෂත්වයකි. හල්ගොල්ල වතුයාය මෙම සුවිශේෂී ව්‍යාපෘතිය දියත් කරනු ලබන්නේ නෙදර්ලන්ත තානාපති කාර්යාලය හා Wageningen විශ්වවිද්‍යාලය සමඟ එක් වෙමිනි.

ලොව ප්‍රථම වරට තේ වත්තක ජෛව විවිධත්ව සංරක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමේ අභිමානයද හල්ගොල්ල වතු යාය සතු වේ. කලාපය තුළ පොහොසත් ජෛව විවිධත්වයක් ආරක්ෂා කිරීම හා තිරසාර කෘෂිකාර්මික භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා වන වැදගත් පියවරක් වන මෙම වැඩසටහන සඳහා කලාප පදනම් කරගත් සංරක්ෂණ ක්‍රියාකාරකම් දියත් කිරීම සඳහා පාලන සංගමයේ සහාය ලබා දෙන්නේ ගෙවුණු 20 වසරක කාලය තුළ සිය විගණන ක්‍රියාවලියේ තිරසාරත්වයද සමඟිනි. ඒ තුළින් විනිවිදභාවය හා තිරසාරත්වය වෙනුවෙන් හල්ගොල්ල වතු යායේ කැපවීමද මනාව ප්‍රදර්ශනය වේ.

මෙහිදී අදහස් දැක්වූ හේලීස් ප්ලාන්ටේශන් හි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා සඳහන් කර සිටියේ හල්ගොල්ල වතු යාය මඟින් ප්‍රදර්ශනය කර ඇති තිරසාරබව මෙරට වැවිලි සිදු කරන වතුවල ඇති හැකියාවන් මනාව පිළිබිඹු කරන බවයි.

හරිත මූලාශ්‍රයන් තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නඟා සිටුවීමේ හැකියාව පෙන්වා දෙන මෙම දැනුම ගවේෂණය කිරීමේ සංචාරක ආකෘතිය තුළින් අධ්‍යාපන විවිධත්වයක් එක් කරනු ඇත. මධ්‍යම පරිසර අධිකාරිය, වන විද්‍යා දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබන මෙය සංස්කෘතික හා තිරසාරත්ව විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කිරීමට සමත්ව ඇත්තේ Pekoe Trail වැනි නව්‍ය සංචාරක ව්‍යාපෘතීන්හි තෝතැන්නක් බවට පත් වෙමිනි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව