කලා පොළ – දෘශ්‍ය කලාව තුළින් කලාත්මක විවිධත්වය සහ නිර්මාණශීලී ප්‍රකාශනය දිරිගැන්වීමේ මෙහෙවර

Sinhala (LBN)

ශ්‍රී ලාංකීය කලාකරුවන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමෙහිලා සුවිශේෂී කර්තව්‍යක් ඉටු කරන වාර්ෂික විවෘත චිත්‍ර කලා ප්‍රදර්ශනයක් වන ‘කලා පොළ’ වැඩසටහනේ 31 වැනි සංවත්සරය 2024 පෙබරවාරි 18 දිනයට යෙදී තිබේ. ලොව සුප්‍රකට විවෘත චිත්‍ර කලා පොළවල් වන පැරීසියේ මොන්මෑට්රි සහ ඔක්ස්ෆර්ඩ් හි ටර්ල් වීදි කලා සැණකෙළියේ ආභාසය ලබා ආරම්භ කළ ‘කලා පොළ’ මේ වනවිට මෙරට චිත්‍ර කලා හා සංස්කෘතික වැඩසටහන් අතර ප්‍රමුඛතම හා ජනප්‍රියතම වැඩසටහනක් බවට පත් වී ඇත.

 



 

ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයක් අනුව 1993 වසරේදී ආරම්භ වූ මෙම වැඩසටහනට 1994 වර්ෂයේ පටන්ම ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් ප්‍රයත්නයන් යටතේ අනුග්‍රහය හිමි විය. කාලයත් සමග වැඩි චිත්‍ර ශිල්පීන් පිරිසකට තම නිර්මාණ අලෙවිය සඳහා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙමින් සහ දේශීය හා විදේශීය නරඹන්නන් ආකර්ෂණය කරගනිමින්, චිත්‍ර ශිල්පීන්ට වැඩි ආදායමක් උපයා දීමට මෙම වැඩසටහන සමත් වී ඇත. එමෙන්ම දිවයිනේ විවිධ පළාත්වල ජීවත් වන, විවිධ ජ්‍යෙෂ්ඨතා මට්ටම් සහිත කලාකරුවන්ට එකිනෙකා සමග සම්බන්ධ වී සහයෝගයෙන් කටයුතු කිරීමට අවස්ථාව සලසා දීම, මෙම වැඩසටහනේ සාර්ථකත්වයට තුඩු දී ඇති තවත් සාධකයකි.

“කවදත් ජෝර්ජ් කීට් පදනමේ පරමාර්ථය වූණේ දේශීය චිත්‍ර ශිල්පීන්ගේ යහපතට මෙන්ම සමස්තයක් ලෙස කලාවේ ප්‍රගමනයට අවස්ථා හිමි කර දීමයි. කලා පොළ යනු එම අරමුණ වෙනුවෙන් ක්‍රියාවට නැංවූ ප්‍රමුඛතම වැඩසටහනක්. පසුගිය දශක තුනකට අධික කාලය තුළ මෙම වැඩසටහනට ලබාදුන් සහයෝගය වෙනුවෙන් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අප බෙහෙවින් ස්තූතිවන්ත වනවා. මෙම වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාමට මෙන්ම එය දියුණු කිරීමට හැකි වුණේ ඒ සහයෝගය නිසයි. කොළඹ නගරයේ ප්‍රධානතම කලා ඉසව්වක් ලෙස සැලකෙන මෙය දැන් සංචාරකයන් ආකර්ෂණය කරගන්නා ප්‍රධානතම උත්සවයක් බවටත් පත් වී තිබෙනවා.” ජෝර්ජ් කීට් පදනමේ සභාපති මාලක තල්වත්ත මහතා පැවසී ය.

“පසුගිය දශක තුනකට අධික කාලය තුළ ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පීන් වෙනුවෙන් ශක්තිමත් අඩිතාලමක් බවට පත්වීමට කලා පොළ සමත් වී තිබෙනවා. එය ශ්‍රී ලංකාවේ කලාව හා සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා ජෝන් කීල්ස් සමූහය දක්වන කැපවීමෙහි අනිවාර්ය අංගයක්. එමෙන්ම නිර්මාණකරණය තුළින් රටේ ආර්ථිකයට ලබාදිය හැකි දයකත්වය පෙන්වා දීමට මෙන්ම, නිර්මාණශීලීත්වය ප්‍රවර්ධනය කරන ශක්තිමත් පසුබිමක් නිර්මාණය කිරීමට අප සෑම විටම උත්සාහ දරා තිබෙනවා. කතන්දර කීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට වේදිකාවන් සැපයීම තුළින් රටේ ඉතිහාසය පිළිබඳ සාමූහික අවබෝධයක් ඇතිකිරීම සඳහා දායක විය හැකි බවත්, එමගින් සමාජයේ එකමුතු බව වැඩිදියුණු කළ හැකි බවත් අප විශ්වාස කරනවා.” ජෝන් කීල්ස් සමූහයේ නීතිමය, ලේකම් සහ ආයතනික සමාජ වගකීම් අංශ සමූහාධිපති නදීජා තම්බයියා මහත්මිය පැවසුවාය.

කලාව හා සංස්කෘතිය යනු, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි ආයතනික සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනමේ අවධානය යොමුවන ප්‍රධානතම අංශ හයෙන් එකකි. කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී (JKH) පරිපාලිත සමාගමක්ද වේ. වසර 150කට අධික ඉතිහාසයක් ඇති, සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 14,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 18 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ විසින් සිද කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව තුන්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව