ඔරියන්ට් ෆිනෑන්ස් 2023/24 වසරේදී කැපීපෙනෙන මූල්‍ය ප්‍රගතියක් අත්කර ගනී

Chairman_Rajendra Theagarajah

ඔරියන්ට් ෆිනෑන්ස් 2023/24 වසර සඳහා සිය මූල්‍ය කාර්යසාධනයේ විශිෂ්ට ප්‍රගතියක් අත්කරගැනීමට සමත් වී ඇති අතර එය රු.මිලි.348.53ක බදු පසු ලාභයක් ලෙස වාර්තා වේ. පෙර වසරේ වාර්තා වූ රු.මිලි.72ක අලාභයට සාපේක්ෂව මෙය 584% ක ආකර්ෂණීය වර්ධනයකි. සමාගමේ සමස්ත වත්කම් 17% කින් එනම් වත්කම් වල අගය රු.මිලි.20,477 දක්වා ඉහළ ගොස් ඇති අතර එය කර්මාන්තයේ සාමාන්‍ය වර්ධන වේගය වන 8% ඉක්මවා යෑමකි. මේ සඳහා සමාගම අනුගමනය කරන ආයෝජන කළඹ සහ අවදානම් කළමනාකරණය සඳහා වූ නම්‍යශීලී ප්‍රවේශය හේතු වී ඇත. 



 

2023/24 වසර සඳහා කැපීපෙනෙන මූල්‍ය ජයග්‍රහණ පහත සඳහන් වේ.

  • 2023/24 වසර සඳහා ලාභය: රු.මිලි.348.53කි. 2022/23 වසරේදී අලාභය රු.මිලි.72කි.
  • මුළු වත්කම්: රු.මිලි.20,477කි. 2022/23 වසරේදී එය රු.මිලි.17,469කි.
  • ණය සහ ලැබිය යුතු මුදල්: රු.මිලි.15,659කි. 2022/23 වසරේදී එය රු.මිලි.12,941කි.
  • තැන්පතු: රු.මිලි.13,556කි. 2022/23 වසරේදී එය රු.මිලි.10,759කි.
  • මුළු ප්‍රාග්ධනය: රු.මිලි.3,603කි. 2022/23 වසරේදී එය රු.මිලි.3,281කි.
  • කොටසකට මූලික ඉපැයීම්: රු.1.65කි. 2022/23 වසරේදී එය සෘණ රු.0.34කි.
  • කොටසකට ශුද්ධ වත්කම්: රු.17.07කි. 2022/23 වසරේදී එය රු 15.54කි.
  • ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ (ROE): 10.13%කි. 2022/23 වසරේදී එය සෘණ 2.18%කි.

ඔරියන්ට් ෆිනෑන්ස් හි ශුද්ධ පොලී ආදායම රු.බිලි.1.79 දක්වා 81% ක වර්ධනයක් වාර්තා කිරීමට සමත් වී ඇති අතර ණය ලබාදීම ඉහළ දැමීම, ණය පොලී අනුපාතවල සිදුකළ වෙනස්කම්, ණය ලබාදීමේ ක්‍රියාවලියේ ඵලදායී කළමනාකරණය සහ මූලික ව්‍යාපාර මෙහෙයුම්වලින් ලබාගත් ඉහළ ලාභය ඒ  සඳහා ධනාත්මක බලපෑමක් සිදුකර ඇත. මීට අමතරව, පොලී නොවන ආදායම රු.මිලි.266 දක්වා 17% කින් ඉහළ ගොස් ඇති අතර ගාස්තු මත පදනම් වූ සේවාවන්හි ශක්තිමත් කාර්ය සාධනය මේ සඳහා සහයක් වී ඇත. මෙම සාර්ථකත්වයන් තුළින් පිළිඹිබු වන්නේ සමාගම සතු ආදායම් විවිධාංගීකරණ සහ වෙළඳපල අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට ඇති හැකියාවයි.

සමාගම වියදම්-ආදායම් අනුපාතයෙහිද ප්‍රශංසනීය දියුණුවක් අත්කරගෙන ඇති අතර එය පෙර වසරේ 93.44%ක් ලෙස වාර්තා වුවද මෙම වසරේ එම අනුපාතිකය 66.53%ක් දක්වා අඩු වී ඇත. තවද, ප්‍රාග්ධනය මත ප්‍රතිලාභය පෙර වසරේ සෘණ -2.18%ක් ලෙස පැවතියද මෙම වසර වන විට එය 10.13%ක් දක්වා වර්ධනය වී ඇත.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සහ ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ ශක්තිමත් දායකත්වයේ ප්‍රතිඵලයක් ලෙස සමාගමේ ණය ආයෝජනය රු.මිලි.15,659 දක්වා 21% කින් පුළුල් වී තිබේ. දක්ෂ ලෙස අවදානම් කළමනාකරණ කරමින් සිය ණය ආයෝජනයන් විවිධාංගීකරණය කිරීම සහ පුළුල් කිරීම කෙරෙහි ඔරියන්ට් ෆිනෑන්ස් සතු උපායමාර්ගික අවධානය මෙම වර්ධනය තුළින් මනාලෙස විදහා දක්වයි. මෙම කාලය පුරාවටම අක්‍රීය ණය (NPL) මට්ටම් කර්මාන්තයේ සාමාන්‍ය මට්ටමට වඩා අඩු මට්ටමක පවත්වා ගනිමින් සමාගම උසස් තත්ත්වයේ ආයෝජන කළඹක් සාර්ථකව පවත්වාගෙන ගොස් ඇත.

ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී හි සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා, සමාගමේ කැපීපෙනෙන සාර්ථකත්වය පිළිබඳ අදහස් දක්වමින් මෙලෙස ප්‍රකාශ කළේය. වෙනස් වෙන ව්‍යාපාර පරිසරයකට මුහුණ දීමට අප සතු හැකියාව මෙම වසරේ සාර්ථකත්වයෙන් මනාව පිළිඹිබු වෙනවා. උපායමාර්ගික ක්‍රියාවන් සහ අපගේ කණ්ඩායමේ අසීමිත කැපවීම නිසා අපි විශිෂ්ට මූල්‍ය ජයග්‍රහණයක් අත්කරගෙන තියෙනවා පමණක් නොව ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද අපගේ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව සහ පාරිභෝගික තෘප්තිය ඉහළ නංවාලීමට අපට හැකිවී තිබෙනවා. අපගේ ක්‍රියාවලීන් ප්‍රතිනිර්මාණය කිරීමෙන් සහ තිරසාර වර්ධනයක් කෙරෙහි අවධානය යොමු කිරීමෙන්, අඛණ්ඩ සාර්ථකත්වය කරා අපි අපව ස්ථානගත කරගෙන තියෙනවා. අනාගතයේදී නවෝත්පාදන, පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් තුළින් අපගේ සන්නාමය ශක්තිමත් කිරීමට අප කැපවී සිටිනවා. අපගේ මීළග ප්‍රමුඛතා ලැයිස්තුවට ඩිජිටල් තාක්ෂණයන් උපයෝගී කර ගැනීම, නිෂ්පාදන පරාසය පුළුල් කිරීම සහ අපගේ වෙළඳපොළ තත්ත්වය තහවුරු කිරීම අයත් වෙනවා. ශක්තිමත් පදනමක් සහ පැහැදිලි දැක්මක් සමඟින්, ඉදිරි වසරවල අති විශිෂ්ට දියුණුවක් අත්පත් කරගැනීමට හැකිවෙන බව අපිට විශ්වාසයි.”

ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කේ.එම්.එම්. ජබීර් වැඩිදුරටත් පැවසුවේ, “අභියෝග මැද වුවද පසුගිය වසර කිහිපය තුළ ඔරියන්ට් ෆිනෑන්ස් කැපී පෙනෙන සාර්ථකත්වයක් අත්කරගෙන තිබෙනවා. අපගේ වර්ධන උපාය මාර්ගය සහ පිරිවැය කළමනාකරණය 23/24 වසර සඳහා මෙලෙස ආකර්ෂණීය ප්‍රතිඵල ලබාදෙන්නට උපකාරී වුණා. දක්ෂ ලෙස වෙළඳපල හැසිරවීමට අමතරව මෙම ජයග්‍රහණ වලට මූලික හේතුව වූයේ  පාරිභෝගික ආරක්ෂාව සහ ශක්තිමත් හවුල්කාරිත්වය කෙරෙහි අප යොමු කළ අවධානයයි. ඒ නිසා අපි පිළිබඳ වූ විශ්වාසය සහ පක්ෂපාතිත්වය තවදුරටත් වැඩි දියුණු වී තියෙනවා. පාරිභෝගික සම්බන්ධතා වැඩිදියුණු කිරීම, ශාඛා ජාලය පුළුල් කිරීම, ඒ ඒ අයට ගැළපෙන මූල්‍ය නිෂ්පාදන හඳුන්වාදීම, අවදානම් කළමනාකරණය ශක්තිමත් කිරීම වැනි අපගේ ක්‍රියාකාරකම් නිසා අප සතු පාරිභෝගිකයින් ප්‍රමාණය 51,557ක් දක්වා 23%කින් වැඩි වී ඇත. මීට අමතරව අපගේ ශාඛා ජාලය ව්‍යාප්ත කිරීම සහ ඩිජිටල් පරිවර්තනය නිසා අපගේ වෙළඳපොළ තත්වයේ මෙන්ම අප කෙරෙහි එල්ල වන තරඟකාරීත්වයේද වැඩිවීමක් දක්නට පුළුවන්. මෙම ප්‍රවේශය අඛණ්ඩව වර්ධනය කිරීම මගින් අපගේ සියලුම පාර්ශවකරුවන්ට හොඳම දේ ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව