
2024 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ මාස 9 ක කාල පරිච්ඡේදය තුළ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම සමත් වූ අතර, එහිදී 2023 වසරේ සමාලෝචිත කාල සීමාවට සාපේක්ෂව ප්‍රධාන මූල්‍ය දර්ශකවල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කිරීම සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සඳහන් කළ හැකිය.
සමාලෝචිත කාල සීමාව තුළ ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම වාර්තා කළ බදු පසු ලාභය රුපියල් මිලියන 254.6ක් වන අතර, එය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තාකළ රුපියල් මිලියන 97.6ක බදු පසු ලාභයට සාපේක්ෂව 161% ක වර්ධනයකි. එමෙන්ම අදාළ කාල සීමාව තුළ සමාගමේ ශුද්ධ පොලී ආදායම 37%ක වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 1.21 සිට රුපියල් බිලියන 1.66 දක්වා වර්ධනය විය.
2024 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන්වූ මාස 9ක කාල පරිච්ඡේදයේදී ඔරියන්ට් ෆිනෑන්ස් සමාගමේ මුළු වත්කම් රුපියල් බිලියන 25.3 දක්වා ඉහල ගිය අතර, එම වර්ධනය ප්‍රතිශතයක් ලෙස ගත් කල 28%ක වර්ධනයකි. අදාළ කාල සීමාව තුළ සමාගමේ ලැබිය යුතු ණය හා අත්තිකාරම් රුපියල් බිලියන 19.76 දක්වා 36% කින් ඉහල ගිය අතර, පාරිභෝගික තැන්පතු 19%ක වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 15.12ක් ලෙස වාර්තා විය. එමෙන්ම 12%ක වර්ධනයක් සමඟින් වාර්තාවූ මුළු ප්‍රාග්ධනයේ වටිනාකම රුපියල් බිලියන 3.86කි. ඊට අමතරව සමාලෝචිත කාලසීමාව තුළ වාර්තා වූ කොටසක ඉපැයීම් (EPS), පෙර වසරේ වාර්තා වූ රුපියල් 0.46ට සාපේක්ෂ ව 163%ක වර්ධනයක් සමඟින් රුපියල් 1.21 දක්වා ඉහළ ගිය අතර, කොටසකට ශුද්ධ වත්කම (NAPS) 12% ක වර්ධනයක් සමඟින් රුපියල් 18.27 දක්වා වර්ධනය විය.
ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම 2024 දෙසැම්බර් මාසය සඳහා, 68% ක පිරිවැය-ආදායම් අනුපාතයක් වාර්තා කළ අතර, එමඟින් අභියෝගාත්මක වෙළෙඳපොළ තත්වයන් මධ්‍යයේ පිරිවැය කළමනාකරණය සඳහා සමාගම අනුගමනය කළ ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය පිළිබිඹු වේ. අදාළ කාල සීමාව තුළ සමාගමේ දළ අක්‍රීය ණය (NPL) අනුපාතය 9.62%ක් වූ අතර, සමාගමේ ණය අවදානම් කළමනාකරණයේ සාර්ථකත්වය පෙන්නුම් කරමින් සමාලෝචිත කාල සීමාව තුළ ප්‍රතිපාදන ආවරණය 65.37%ක් ලෙස වාර්තා විය. 2024 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ කාර්තුව තුළ ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම වාර්තා කළ අදියර 1 ප්‍රාග්ධන අනුපාතය 13.14% ක් සහ මුළු ප්‍රාග්ධන අනුපාතය 13.16% ක් වූ අතර, අදාළ ප්‍රතිශත දෙකම අවම නියාමන අනුපාතවලට ඉහළින් පැවතීම විශේෂත්වයකි.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ඔරියන්ට් ෆිනෑන්ස් සමාගමේ සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා පැවසුවේ, “මෙම සුවිශේෂී වර්ධනය, තිරසාරත්වය සහ මෙහෙයුම් විශිෂ්ටත්වය වෙනුවෙන් අපගේ කැපවීමට හොඳම සාක්ෂියක්. නවෝත්පාදන හඳුන්වා දෙමින්, ගනුදෙනුකාර කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලාංකේය මූල්‍ය ක්ෂේත්‍රය තුළ අපගේ ස්ථාවරත්වය තහවුරු කරගැනීමට ප්‍රධාන වශයෙන් හේතුවූ බව පැවසිය යුතුමයි. අප අඛණ්ඩව වර්ධනය වන විට අපගේ කොටස් හිමියන් වෙත ඉහල ප්‍රතිලාභ ලබාදීමට වගේම, නවතම මූල්‍ය නිමැවුම් හා සේවා හරහා ගනුදෙනුකරුවන්ගේ විවිධත්වයෙන් යුත් අවශ්‍යතා සඳහා සාර්ථක විසඳුම් ලබාදීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වෙනවා.” යනුවෙනි.
මෙහිදී අදහස් දක්වමින් ඔරියන්ට් ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී කේ. එම්. එම්. ජබීර් මහතා ප්‍රකාශ කළේ, ” සමාලෝචිත කාල සීමාව තුළ අප සමාගම වාර්තා කළ ශක්තිමත් මූල්‍ය වර්ධනය හරහා, අප අනුගමනය කළ උපායමාර්ගවල සාර්ථකත්වයට සහ මනා කළමනාකරණයට සාක්ෂි සපයනවා. අපගේ සේවාවන් අතරින් විශේෂයෙන් කල්බදු (ලීසිං), රන් ණය සහ ස්ථාවර තැන්පතුවල වර්ධනය මෙම ජයග්‍රහණය සඳහා ප්‍රධාන වශයෙන් හේතුවූ බව පැවසුවොත් මා නිවැරදියි. ඊට අමතරව කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීමට, අවදානම් කළමනාකරණය කිරීමට සහ වෙළෙඳපොළ අවශ්‍යතා සඳහා නිසි විසඳුම් ලබා දීමට ප්‍රශස්ත මට්ටමේ උපාය මාර්ග අනුගමනය කිරීමට අප කටයුතු කළ බව අවධාරණය කළ යුතුයි. එමඟින් මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගනිමින් ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනෙන් දින වර්ධනය කර ගැනීමට අපට හැකි වුණු බවත් පැවසිය යුතුමයි.” යනුවෙනි.
ශ්‍රී ලාංකේය මූල්‍ය ක්ෂේත්‍රය තුළ සිය ස්ථාවරත්වය තහවුරු කර ගනිමින්, දිනෙන් දින අඛණ්ඩ වර්ධනය කරා ගමන් කිරීමට ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම නිරන්තරයෙන් කැපවෙයි.