ඔයිල් පාම් වගාවේ ස්වර්ණමය දොරටුව විවර කිරීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නැංවිය හැකි බව ආසියානු ඔයිල් පාම් සංගමය ජනපතිට දන්වයි

WhatsApp Image 2023-08-02 at 2.07.38 PM (1) (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ ඔයිල් පාම් වගා ව්‍යාප්තිය සීමා කරමින් පනවා තිබෙන තාවකාලික තහනම පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් සැලකිය යුතු අවධානයක් යොමු වී තිබේ. මෙම ප්‍රතිපත්තිමය තීරණය මගින් ලංකාවට එල්ල වන ඍණාත්මක බලපෑම සම්බන්ධයෙන් ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය සහ පාකිස්තානය යන රටවල කර්මාන්තයන් නියෝජනය කරන බහුපාර්ශ්වික ආයතනයක් වන ආසියානු ඔයිල් පාම් සංගමය (Asian Palm Oil Association) සිය කණස්සල්ල මෙරට රජයට පළ කොට තිබේ.
ඒ අනුව මෙකී බලපෑම පිළිබඳ යළි අවධානය යොමු කරමින් ආසියානු ඔයිල් පාම් සංගමය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පසුගියදා නිල වශයෙන් දැනුම්දීමක් කර තිබුණි. ආර්ථික ප්‍රතිලාභ, ආහාර සුරක්ෂිතතාව වැඩි දියුණු කරගනිමින් තිරසාර සංවර්ධන ඉලක්ක කරා ළඟා විය හැකි ඔයිල් පාම් වගාව ගැන ධනාත්මක කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කර ඇත.
එළවළු තෙල් හිඟයට පිළියම් යෙදීම
පැවති කොවිඩ් – 19 වසංගතයත් සහ රුසියානු – යුක්රේන ගැටුම් හේතුවෙන් ගෝලීය එළවළු තෙල් සැපයුම් දාමයට දැඩි ලෙස බලපෑමක් එල්ල වූ අතර රට තුළ පවතින එළවළු තෙල් අවශ්‍යතාවයට ද එය උග්‍ර ලෙස බලපෑවේය. ඔයිල් පාම් වැනි උපායමාර්ගික වෙළඳ භාණ්ඩයක් සකසා ගැනීමෙන් තෙල් අවශ්‍යතාවය සපුරා ගැනීමටත්, ආනයනික වියදම් අඩු කර ගැනීමටත් හැකි වන බව ඔවුන් පෙන්වා දී තිබේ.
ආර්ථික බලපෑම සහ ආහාර සුරක්ෂිතතාව
දන්තාලේප, ෂැම්පු සහ රසකැවිලි සිට බේකරි නිෂ්පාදනයන් දක්වා ඔයිල් පාම් අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන නිසාම ශ්‍රී ලංකාවට සිය දේශීය නිෂ්පාදන හැකියාවන් ශක්තිමත් කර ආනයනයන් මත යැපීම අඩු කර ගත හැකි බව සඳහන් කර තිබේ. මේ වනවිට දේශීය තෙල් පරිභෝජනය මෙට්රික් ටොන් 264,000ක් වන අතර දේශීය වශයෙන් නිපදවනු ලබන්නේ ඉන් 20%ක් පමණක් බව සඳහන් කරන ඔවුන් පොල්තෙල් නිෂ්පාදන පුළුල් කිරීම, ආර්ථිකමය හෝ තාක්ෂණික වශයෙන් මුලීක විකල්පයක් නොවන බවද ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.
කුඩා වතු හිමියන් සඳහා සහාය
ගෝලීය වශයෙන් ඔයිල් පාම් නිෂ්පාදනයේ දී කුඩා වතුහිමියන් ප්‍රමුඛතම නිෂ්පාදකයින් ලෙස වර්ධනය වී සිටී. එසේ වුවත් ශ්‍රී ලංකාවේ පාම් ඔයිල් අංශය තුළ දැනට කුඩා වතුහිමියන්ගේ සහභාගීත්වය ඉතාම අල්පය. මෙරට ආර්ථිකය සවිබල ගැන්වීමට නිසි අවස්ථාවක් ඉදිරිපත් කරමින් ඔයිල් පාම් වගාව ආරම්භ කිරීම සඳහා කුඩා වතුහිමියන් 2,000කට අධික පිරිසක් සිටිති. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන “ආහාරයට ගත හැකි තෙල් පිළිබඳ ජාතික මෙහෙවර” (NMEO-OP) ආත්ම විශ්වාසයක් ගොඩනැගෙන සාර්ථක ආදර්ශයක් වී ඇති බව ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ. එබැවින් ඉන්දියාව සහ අනෙකුත් රටවල සහයෝගීතාවය ඔස්සේ ශ්‍රී ලංකාව තුළ තිරසාර ඔයිල් පාම් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කිරීමට මහඟු ප්‍රකිලාභ රැසක් ලබා ගත හැකි බවද අවධාරණය කර ඇත.
තිරසාර සංවර්ධන ඉලක්ක
ඔයිල් පාම් වගා ව්‍යාප්තිය තුළින් ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කර ගැනීමට හැකියාව පවතී. ඔයිල් පාම් වගාව ඔස්සේ කුඩා වතුහිමියන්ගේ ජීවන තත්ත්වය උසස් කරන අතරම ආදායම් සහ ප්‍රාග්ධන සංචිත වැඩිදියුණු කෙරෙන බවට ඉන්දුනීසියාවේ හා මැලේසියාවේ අධ්‍යයනවලින් පෙන්නුම් කර තිබෙන බව ඔවුන් අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ ඔයිල් පාම් වගාව ගැන කතාබහ කිරීමේ දී නිරන්තරයෙන් මතුවන පාරිසරික ගැටළු ආමන්ත්‍රණය කරමින් ආසියානු ඔයිල් පාම් සංගමය ‘’ ඔයිල් පාම් පිළිබඳ මිථ්‍යාවන් සහ සත්‍යයන්’’ අධ්‍යයනයද උපුටා දක්වා තිබේ. එම අධ්‍යනයේ දත්ත සහ සාක්ෂි අනුව ශ්‍රී ලංකාවේ ඔයිල් පාම් වතුවල වන විනාශයන් හා පාරිසරික හානියන් පිළිබඳ වූ ප්‍රකාශ විද්‍යාත්මකව බැහැර කොට ඇතැයි ද ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.
එනමුත් එවැනි දැඩි විද්‍යාත්මක පර්යේෂණයන් මෙකී ප්‍රස්තුතයට සහායක් නොදක්වන බව ද අවධාරණය කර තිබේ. ඒ වෙනුවට තිරසාර ඔයිල් පාම් නිෂ්පාදනය, දේශීය සහතික කළ තිරසාර ප්‍රමිතීන් සමඟ පාරිසරික සංරක්ෂණය වඩාත් ඵලදායී ප්‍රවේශයන් වන බව සඳහන් කර තිබේ. ස්වභාවික සම්පත් කාර්යක්ෂමව භාවිත කිරීම තුළින් ආර්ථික නිදහසක් සහිත ජීවන පරිවර්තනයන් සිදු කළ හැකි අයුරු ඉන්දුනීසියාව, මැලේසියාව සහ ඝානාව යන රටවල අධ්‍යයනයන්ගෙන් පෙන්නුම් කරන බවද සදහන් කර ඇත.
ශ්‍රී ලංකා රජයට අභියාචනයක්
මෙතෙක් ඉදිරිපත් කරන ලද සාක්ෂි අනුව ආසියානු ඔයිල් පාම් සංගමය සහ එහි හවුල්කරුවන් වශයෙන් දැනට පනවා තිබෙන තහනම පිළිබඳ යළි සලකා බලන්නැයි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බව ජනාධිපතිවරයාට දන්වා තිබේ. තවද ආසියානු ඔයිල් පාම් සංගමය හා එහි සාමාජිකයින් දේශීය පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටත්, දැනුම සහ අත්දැකීම් ‌බෙදා ගැනීමටත් මෙන්ම ශ්‍රී ලංකාවේ තිරසාර ඔයිල් පාම් කර්මාන්තයක් නඟා සිටුවීමටත් සහාය විය හැකි බව ද ඔවුන් සඳහන් කර තිබේ. ඒ තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කර ගනිමින්, ආහාර සුරක්ෂිතතාව හා වගකීම් සහගත පාරිසරික භාවිතයන් සහතික කර ගනිමින් තිරසාර සංවර්ධන ඉලක්කයන් තහවුරු කර ගැනීමටත් හැකි වනු ඇතැයි ද ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.
ඒ අනුව බලන කළ මෙය ආර්ථිකය ශක්තිටට්මත් කිරීමටත්, ආනයනයන් අඩු කිරීමටත්, ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීමටත් සහ තිරසාර සංවර්ධන ඉලක්කවලට සහාය වීමටත් ඇති සුවිශේෂි ජයග්‍රාහී අවස්ථාවක් ලෙස ද ඔවුන් ජනාධිපතිවරයාට අවධාරණය කර තිබේ. උපායමාර්ගික සැලසුම් සහ තිරසාර භාවිතයන් සමඟ මෙම ඔයිල් පාම් විභවයට ඉඩ දීම තුළින්, ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට දීප්තිමත් අනාගතයක් සලසා ගැනීමට හැකිවනු ඇතැයි තම සංගමයට උපරිම විශ්වාසයක් තිබෙන බව ද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව