එමිරේට්ස් සමූහය 2023-24 සඳහා වාර්තාගත ප්‍රතිඵල නිවේදනය කරයි

Emirates and dnata (LBN)

2023-24 මූල්‍ය වසර සඳහා එමිරේට්ස් සමූහය වාර්තාගත ලාභ, ආදායම් සහ මුදල් ශේෂ මට්ටම් වාර්තා කර ඇත.

2024 මාර්තු 31 දිනෙන් අවසන් වූ වසර සඳහා එමිරේට්ස් සමූහය ඩිරාම් බිලියන 18.7 ක (ඇමරිකානු ඩොලර් බිලියන 5.1 ක) ලාභයක් වාර්තා කර ඇති අතර පසුගිය වසරේ ඩිරාම් බිලියන 10.9 (ඇමරිකානු ඩොලර් බිලියන 3.0) ලාභය හා සසඳන විට එය 71%ක වර්ධනයකි. සමූහයේ ආදායම ඩිරාම් බිලියන 137.3ක් (ඇමරිකානු ඩොලර් බිලියන 37.4ක්) වූ අතර එය 15%ක වර්ධනයක් නියෝජනය කරයි. සමූහයේ මුදල් ශේෂය ඩිරාම් බිලියන 47.1 (ඇමරිකානු ඩොලර් බිලියන 12.8)ක් වන අතර එය මෙතෙක් වාර්තා වූ ඉහළ ම අගයකි. පසුගිය වසරට වඩා එය 11% කින් වර්ධනය වී ඇත.

 



 

එමිරේට්ස් සමූහයේ සහ එමිරේට්ස් ගුවන් සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ෂික් අහමඩ් බින් සයීඩ් අල් මක්ටුම් මහතා මෙසේ පැවසීය: “එමිරේට්ස් සමූහය නැවත වරක් නව වාර්තාගත කාර්ය සාධනයක් ලබා දීමට සමත් වී ඇත. වසර පුරාවට ම ලෝකය පුරා ගුවන් ප්‍රවාහනය සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිත සේවාවන් සඳහා ඉහළ ඉල්ලුමක් දැකගත හැකි වූ අතර, පාරිභෝගිකයන්ට අවශ්‍ය දේ ඉක්මනින් ලබා දීමට හැකි වූ නිසා අපි විශිෂ්ඨ ප්‍රතිඵල අත්කර ගත්තෙමු. එමෙන් ම වසර ගණනාවක් පුරා අපගේ අඛණ්ඩ ආයෝජන වල ප්‍රතිලාභ අපි භුක්ති විඳින්නේ අපගේ නිෂ්පාදන සහ සේවාවන්, ශක්තිමත් හවුල්කාරීත්වයන් සහ අපගේ දක්ෂ පුද්ගලයින්ගේ හැකියාවන් හේතුවෙනි.”

ෂික් අහමඩ් මහතා තවදුරටත් මෙසේ පැවසීය: “වර්තමානයේ සමූහය තුළ පවතින විශිෂ්ට මූල්‍ය තත්ත්වය අනාගත වර්ධනය සහ සාර්ථකත්වය සඳහා අපව ශක්තිමත් ලෙස ස්ථානගත කරයි. එමඟින් අපගේ ගනුදෙනුකරුවන්ට සහ පාර්ශවකරුවන්ට වඩා හොඳ නිෂ්පාදන, සේවා සඳහා වැඩි වටිනාකමක් ලබා දීමට ආයෝජනයන් කිරීමේ හැකියාව ලබා දෙයි.”

එමිරේට්ස් ගුවන් සමාගමෙහි මූල්‍ය වර්ෂයේ මුළු ආදායම 13%කින් ඩිරාම් බිලියන 121.2 (ඇමරිකානු ඩොලර් බිලියන 33.0) දක්වා වර්ධනය විය. ගුවන් සමාගමේ ඇතැම් ප්‍රධාන වෙළෙඳපොළවල මුදල් උච්චාවචනයන් සහ මුදල් අවප්‍රමාණය වීම හේතුවෙන්, ඩිරාම් බිලියන 2.0 (ඇමරිකානු ඩොලර් බිලියන 0.6) කින් ගුවන් සමාගමේ ලාභයට අහිතකර ලෙස බලපෑවේය. විශේෂයෙන් පකිස්ථානු රුපියල, ඊජිප්තු පවුම සහ ඉන්දියානු රුපියලයෙහි සිදු වූ වෙනස්කම් මීට හේතු විය.

විවිධ පාරිභෝගික කාණ්ඩ හරහා ගුවන් ගමන් සිදු කිරීමට ඇති රුචිකත්වය, එමිරේට්ස් ගෝලීය ජාලයේ ශක්තිය සහ නිෂ්පාදනවල ආකර්ෂණය හේතු කරගනිමින් ගුවන් සමාගම පසුගිය වසරේ ඩිරාම් බිලියන 10.6 (ඇමරිකානු ඩොලර් බිලියන 2.9) ලාභය ඉක්මවා ඩිරාම් බිලියන 17.2 (ඇමරිකානු ඩොලර් බිලියන 4.7) ක නව වාර්තාගත ලාභයක් වාර්තා කළේය. ගුවන් සමාගම එම වාර්තාව පිහිටවූයේ 14.2%ක සුවිශේෂී ලාභ ආන්තිකයක් සමඟින් ගුවන් සමාගමේ ඉතිහාසයේ ලද  හොඳම කාර්ය සාධනය සනිටුහන් කරමිනි.

එමිරේට්ස් 2023-24 දී මගීන් මිලියන 51.9 ක් ප්‍රවාහනය කළ අතර එය 19% ක වර්ධනයකි. ගුවන් සමාගමේ ආසන ධාරිතාව 21% කින් ඉහළ ගියේය.

පසුගිය මූල්‍ය වර්ෂයට වඩා එමිරේට්ස් හි සමස්ත මෙහෙයුම් පිරිවැය 8%කින් වැඩි විය. සලකා බලන මූල්‍ය වසර තුළ ඉන්ධන පිරිවැය මෙහෙයුම් පිරිවැයෙන් 34%ක් විය. පසුගිය වසරේ ඉන්ධන සඳහා වැය වූ ඩිරාම් බිලියන 33.7 (ඇමරිකානු ඩොලර් බිලියන 9.2) හා සසඳන විට ගුවන් සමාගමේ ඉන්ධන බිල 2023-24 තුළ ඩිරාම් බිලියන 34.2 (ඇමරිකානු ඩොලර් බිලියන 9.3) දක්වා සුළු වශයෙන් වැඩි වී ඇත.

එමිරේට්ස් ස්කයිකාර්ගෝ විසින් ගෝලීය ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිය ස්ථාවරය යළි තහවුරු කළ අතර, 2023-24 වසර තුළ භාණ්ඩ ටොන් මිලියන 2.2ක් ලොව පුරා ප්‍රවාහනය කරමින් පෙර වසරට වඩා 18%ක වර්ධනයක් අත්කර ගත්තේය. ගෝලීය සැපයුම් අංශයේ අභියෝග මධ්‍යයේ වුව ද, භාණ්ඩ ප්‍රවාහන අංශය ඩිරාම් බිලියන 13.6 (ඇමරිකානු ඩොලර් බිලියන 3.7)ක ආදායමක් වාර්තා කර ඇති අතර එය ගුවන් සමාගමේ මුළු ආදායමින් 11%ක දායකත්වයක් විය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව