එමිරේට්ස් සමූහය 2023-24 අර්ධ වර්ෂය සඳහා වාර්තාගත කාර්ය සාධනයක් නිවේදනය කරයි

Emirates Group employees (LBN)

 



 

 

එමිරේට්ස් සමූහය මෙතෙක් ලබාගත් විශිෂ්ඨතම සය මාසික මූල්‍ය ප්‍රතිඵල නිවේදනය කර තිබේ. සමූහය විසින් පසුගිය වසරේ ලබාගත් ඩිරාම් බිලියන 4.2 ක (ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක) අර්ධ වාර්ෂික ලාභය 138% කින් අභිබවමින් 2023-24 අර්ධ වාර්ෂික ලාභය ලෙස ඩිරාම් බිලියන 10.1 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 2.7 ක්) වාර්තා කර ඇත.

2023-24 වර්ෂයේ පළමු මාස හය සඳහා සමූහයේ ආදායම ඩිරාම් බිලියන 67.3 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 18.3 ක්) විය. ඒ පසුගිය වර්ෂයේ ඩිරාම් බිලියන 56.3 (ඇමරිකානු ඩොලර් බිලියන 15.3) ට වඩා 20%  ක වර්ධනයකි. මෙයට හේතුව වී ඇත්තේ පසුගිය වසංගත තත්වය නිසා පණවා තිබූ සංචරණ සීමා ඉවත් කිරීමේ සිට සීග්‍රයෙන් වැඩි වන ගුවන් ගමන් සඳහා ලෝකය පුරා ඇතිවූ ඉහළ ඉල්ලුමයි.

සමූහය 2023-24 පළමු අර්ධ වර්ෂය අවසන් කළේ 2023 මාර්තු 31 වනදා තිබූ ඩිරාම් බිලියන 42.5 ට (ඇමරිකානු ඩොලර් බිලියන 11.6 ට) සාපේක්ෂව 2023 සැප්තැම්බර් 30 වනදා තිබූ ඩිරාම් බිලියන 42.7 ක (ඇමරිකානු ඩොලර් බිලියන 11.6 ක) ඉතාමත් ශක්තිමත් මූල්‍ය ශේෂයක් සමඟිනි.

එමිරේට්ස් සමූහයේ සහ එමිරේට්ස් ගුවන් සේවයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ෂික් අහමඩ් බින් සයීඩ් අල් මක්ටුම් මහතා මෙසේ පැවසීය: “වසංගතයේ අඳුරු දිනවලින් ශක්තිමත්ව නැගී සිටීම සඳහා වූ අපගේ සැලසුම්වල ඵලදායීතාවය අප දකිමු. සමූහය පෙර වාර්තා අභිබවමින් මෙතෙක් ලැබූ හොඳම අර්ධ වාර්ෂික කාර්ය සාධනය වාර්තා කර ඇත. 2023-24 පළමු මාස හය සඳහා අපගේ ලාභය 2022-23 වාර්ෂයේ මුළු ලාභයට ආසන්න වශයෙන් ගැළපේ. ආයතනය තුළ ඇති දක්ෂතාවය හා කැපවීම, අපගේ ව්‍යාපාර ආකෘතියේ ශක්තිමත් බව, සහ ශක්තිමත්, නොසැලෙන හා ප්‍රගතිශීලී ගුවන් සේවා අංශයක් නිර්මාණය කිරීම උදෙසා අනුබලය ලබා දුන් ඩුබායි හි ප්‍රතිපත්තිවල හා දැක්මෙහි ඇති බලය මෙම දැවැන්ත ජයග්‍රහණය විසින් විදහා දක්වයි.”

එමිරේට්ස් ගුවන් සමාගම

එමිරේට්ස් ගුවන් සමාගම 2023 අප්‍රේල් 01 වනදා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා ගුවන් මගීන් මිලියන 26.1 ක් ප්‍රවාහනය කර තිබෙන අතර එය පසුගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී 31% ක වර්ධනයක් වේ. සමස්ත ගෝලීය ගුවන් භාණ්ඩ වෙළඳපොළේ මෘදු වීමක් තිබියදී වුවද, එමිරේට්ස් ස්කයිකාර්ගෝ විසින් සලකා බලන වසරේ මුල් මාස හය තුළදී ගුවන් භාණ්ඩ ටොන් 1,035,000 ක් ප්‍රවාහනය කර තිබෙන අතර, එය පසුගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී 11% ක වර්ධනයකි.

මේ අතර, 2023-24 පළමු අර්ධය තුළදී එමිරේට්ස් ගුවන් සමාගමේ ලාභය නව වාර්තාවක් තබමින් ඩිරාම් බිලියන 9.4 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 2.6ක්) දක්වා වර්ධනය වී තිබෙන අතර පසුගිය වසරේ අදාළ කාලයේදී ගුවන් සමාගම ඩිරාම් බිලියන 4.0 ක (ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක) ලාභයක් වාර්තා කරන ලදී. අනිකුත් මෙහෙයුම් ආදායම්ද ඇතුළුව ආදායම ඩිරාම් බිලියන 59.5 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 16.2 ක්) දක්වා ඉහළ ගොස් තිබේ. එය පසුගිය වසරේ අදාළ කාලයේදී වාර්තා කළ ඩිරාම් බිලියන 50.1 ක (ඇමරිකානු ඩොලර් බිලියන 13.7 ක) ආදායමට වඩා 19%  ක වර්ධනයකි.

එමිරේට්ස් හි මෙහෙයුම් ඉහළ යාමත් සමඟම සෘජු මෙහෙයුම් වියදම් ද (ඉන්ධන ඇතුළුව) 9%  කින් වර්ධනය වී ඇත. ගුවන් සමාගමේ මෙහෙයුම් වියදම්වල විශාලතම කොටස ඉන්ධන වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − nineteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව