එමිරේට්ස් සමූහය 2022-23 සඳහා වාර්තාගත මූල්‍ය ප‍්‍රතිඵල නිවේදනය කරයි

New livery A380 cruising (LBN)

 



 

 

සියලූම ව්‍යාපාරික අංශවල දක්නට ලැබූ ඉල්ලූම හමුවේ එමිරේට්ස් සමූහය සිය 2022-23 වාර්ෂික වාර්තාව එළි දක්වමින් සමූහයේ ඉතිහාසයේ වඩාත් ලාභදායී වසර වාර්තා කර ඇත.

පසුගිය වසරේ අලාභයක් වාර්තා කළ එමිරේට්ස් ගුවන් සමාගම ද වාර්තාගත ලාභයක් මෙවර වාර්තා කර ඇත.

2023 මාර්තු 31 දායින් අවසන් වූ මූල්‍ය වසර සඳහා එමිරේට්ස් සමූහය ඩිරාම් බිලියන 10.9 ක (ඇමරිකානු ඩොලර් බිලියන 3.0 ක) ලාභයක් ලැබීමට සමත් වූ අතර, ඊට පෙර මූල්‍ය වසර සඳහා සමූහය ඩිරාම් බිලියන 3.8 ක (ඇමරිකානු ඩොලර් බිලියන 1 ක) අලාභයක් වාර්තා කරන ලදී. සමූහයේ සමස්ත ආදායම 81% කින් වර්ධනය වී ඩිරාම් බිලියන 119.8 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 32.6 ක්) වී ඇත.

මෙම ප‍්‍රතිඵල පිළිබඳව එමිරේට්ස් සමූහයේ සහ එමිරේට්ස් ගුවන් සමාගමේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරී ශීක් අහ්මඞ් බින් සයීඞ් අල් මක්ටුම් මහතා මෙසේ අදහස් දැක්වීය: ”මෙවැනි වාර්තාගත කාර්යසාධනයක් පිළිබඳව අප ආඩම්බර වනවා. මෙවැනි තත්ත්වයක් ලබා ගැනීමට එක්සත් අරාබි රාජධානියේ නියෝජ්‍ය ජනාධිපති සහ අගමැති මෙන්ම ඩුබායිහි පාලකයා වන ශීක් මොහොමඞ් බින් රශීඞ් අල් මක්ටුම් මහතාගේ නායකත්වය ප‍්‍රධාන සාධකයක් වුණා. එතුමාගේ මගපෙන්වීම සහ සහාය නොතිබුණා නම් අද එමිරේට්ස් ප‍්‍රමාණයෙන් අඩක් වන්නට තිබුණා.”

වර්ධනය වන මෙහෙයුම් සහ අනාගත අවශ්‍යතා සඳහා එමිරේට්ස් සමූහය සලකා බලන වසර තුළ සිය සේවක සංඛ්‍යාව 20% කින් 102,379 දක්වා ඉහළ නැංවූ අතර සමූහයේ සේවක මණ්ඩලය ජාතීන් 160 ක් නියෝජනය කරයි.

2022-23 වසර තුළ එමිරේට්ස් සමූහය නව ගුවන් යානා, උපකරණ, පහසුකම් සහ නව තාක්ෂණය සඳහා ඩිරාම් බිලියන 7.2 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 2 ක්) ආයෝජනය කළේය.

එමිරේට්ස් ගුවන් සමාගමේ සමස්ත ගුවන් මගීන් සහ භාණ්ඩ ප‍්‍රවාහන ධාරිතාව 32% කින් 2023 වසරේ දී වර්ධනය විය. 2023 මාර්තු 31 වනදා වන විට එමිරේට්ස් ගුවන් සමාගමේ ජාත්‍යන්තර ජාලය මහද්වීප හයක ගමනාන්ත 150 කින් සමන්විත විය.

මූල්‍ය වසර සඳහා එමිරේට්ස් ගුවන් සමාගමේ මුළු ආදායම ඩිරාම් බිලියන 107.4 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 29.3 ක්) වූ අතර එය පෙර වසරට සාපේක්ෂව 81% ක වර්ධනයකි. ගෝලීය කෝවිඞ් වසංගතයට පසු ජාත්‍යන්තර ගමන් සීමා ඉවත් කිරීම හේතුවෙන් එමිරේට්ස් ගුවන් සමාගම ඩිරාම් බිලියන 10.6 ක (ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක) ලාභයක් වාර්තා කිරීමට සමත්විය. ඊට පෙර වසර තුළ ගුවන් සමාගම ඩිරාම්  බිලියන 3.9 ක (ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක) අලාභයක් වාර්තා කළේය.

2022-23 වසර තුළ එමිරේට්ස් ගුවන් සමාගම ගුවන් මගීන් මිලියන 43.6 ක් ප‍්‍රවාහනය කළේය.

මේ අතර ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ ප‍්‍රවාහන අංශය වන එමිරේට්ස් ස්කයිකාගෝ එමිරේට්ස් ගුවන් සමාගමේ ආදායමෙන් 16% කට දායක වූ අතර ඩිරාම් බිලියන 17.2 ක (ඇමරිකානු ඩොලර් බිලියන 4.7 ක) ආදායමක් වාර්තා කළේය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව