එක්සත් ජනපද බදු ප්‍රතිපත්තියට අදාලව 2025 ජුලි මස නිකුත් කල ලිපිය පිලිබඳ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ස්ථාවරය

JAAF Logo

ඇමරිකා එක්සත් ජනපද රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ 30%ක අන්‍යෝන්‍ය ගැලපුම් තීරුබදු අයකිරීමේ වැඩපිලිවෙල අගෝස්තු 1වන දින සිට බලාත්මක වීමට නියමිත අතර මේ පිලිබඳව ශ්‍රී ලාංකීය ඇඟලුම් නිෂ්පාදන ප්‍රජාවේ දැඩි අවධානය යොමු විය. ඇඟලුම් අපනයනය මෙරට විශාලතම අපනයන ඉපැයීම් ක්ෂේත්‍රය වන අතර අපගේ ඇඟලුම් අපනයන ඉපැයීම්වලින් වැඩි පංගුවක් ඇමරිකානු වෙළෙඳපොට ඇති අපගේ ප්‍රවේශය මත රඳා පවතී. එබැවින් මෙබඳු ඉහල අගයක අන්‍යෝන්‍ය ගැලපුම් තීරුබද්දක් පැනවීම තුළින් එක්සත් ජනපදය සඳහා ඇඟලුම් අපනයනය කරන කලාපයේ රටවල් සමග අප විසින් සිදු කරන තරගකාරීත්වයට අහිතකර බලපෑම් එල්ල විය හැකි බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසයි.

 



 

ඇමරිකානු වෙළෙඳපොල සඳහා ශ්‍රී ලංකාව සමග තරග කරන වියට්නාමය සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් ප්‍රකාශයට පත් කළ අන්‍යෝන්‍ය ගැලපුම් තීරුබදු ප්‍රතිශතය 20%ක් වූ අතර බංග්ලාදේශයට පැනවූ 35%ක අන්‍යෝන්‍ය ගැලපුම් තීරුබදු ප්‍රතිශතය අඩු කර ගැනීම සඳහා බංග්ලාදේශය ඇමරිකා රජය සමග සාකච්ඡා ආරම්භ කර ඇත. ඉන්දියාව දරන ස්ථාවරයෙහි වෙනසක් දක්නට නොමැති වූවද ශ්‍රී ලංකාවට වඩා වැඩි වාසියක් ඉන්දියාව විසින් අත්පත් කර ගනු ඇති බව මීට පෙර සඳහන් විය. මේ ආකාරයට ශ්‍රී ලංකාව සමග තරගකාරී වෙළෙඳපොල ගනුදෙනුවක නිරතව සිටින කාම්බෝජයට පනවා ඇති බදු ප්‍රතිශතය ශ්‍රී ලංකාවට වඩා වැඩි බැවින් ඔවුන් ද මේ තත්වය වෙනස්කරවා ගැනීමට උත්සාහ දරමින් සිටී.

“30%ක අන්‍යෝන්‍ය ගැලපුම් තීරුබද්ද නොවෙනස්ව එලෙසම පැවතියහොත් ඇමරිකානු ඇඟලුම් ගැණුම්කරුවන් ශ්‍රී ලංකාවට වඩා අඩු තීරුබදු සහන ලබා ගත් ගැනුම්කරුවන් වෙත යොමු වීමේ අවදානමක් අප හමුවේ පවතිනවා. එබැවින් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය ලෙස අප අවධාරණයෙන් යුතුව රජයෙන් ඉල්ලා සිටින්නේ අන්‍යෝන්‍ය ගැලපුම් තීරුබදු වෙනස් කරවා ගැනීම සඳහා රජය විසින් එක්සත් ජනපද වෙ‌ළෙඳ නියෝජිතයින් සමග කරන සාකච්ඡා තවදුරටත් සිදු කරමින් මේ තත්වය රටට හිතකර ලෙස වෙනස් කරවා ගැනීමට උපරිම උත්සාහය දරන ලෙසටයි.”

ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජනපද වෙ‌ළෙඳ නියෝජිතයින් (USTR  ) සමග කල සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස 44%ක් ව තිබූ බදු ප්‍රතිශතය 30% දක්වා අඩු කර ගැනීමට හැකි වීම සුභවාදී තත්වයක් බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය විසින් පෙන්වා දෙන අතර මේ තත්වය දිගටම පවත්වා ගනිමින් අගෝස්තු 1වන දිනට පෙර දැනට ප්‍රකාශයට පත් ව ඇති බදු ප්‍රතිශතය ද අඩු කර ගැනීම සඳහා වන රජයේ උපරිම කැපවීම ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය දැඩි ව අපේක්ෂා කරයි. මෙම රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීම මෙරට ඇඟලුම් කර්මාන්තයෙන් යැපෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ රැකියා සුරක්ෂිත බව, වෙළෙඳපොල කොටස පවත්වාගෙන යෑමට සහ විශ්වාසදායි ඇඟලුම් නිෂ්පාදකයකු ලෙස ශ්‍රී ලංකාව විසින් ඇඟලුම් සැපයුම් දාමයෙහි ලබා ඇති කීර්තිය තවදුරටත් රඳවා ගැනීමට අතිශය වැදගත් වනු ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ අදහස බව ඔවුහු වැඩිදුරටත් පවසයි.

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව