එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජකීයයෙකු ප්‍රමුඛ ආයෝජකයන් පිරිසක් කොළඹ වරාය නගරයේ සංචාරයක

4 (LBN)

 



 

 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂෙයික් මොහොමඩ් බින් මක්ටූම් බින් ජුමා අල් මක්ටූම් ප්‍රමුඛ ආයෝජකයන් පිරිසක් 2023 ජනවාරි 14 දින කොළඹ වරාය නගරයේ සංචාරයක නිරත වූහ. එහිදී වරාය නගර ව්‍යාපෘතියෙහි සෘජු විදේශ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් එම කණ්ඩායම සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ හා කොළඹ වරාය නගරයේ නියෝජිතයන් අතර සාකච්ඡා කිහිපයක්ද පැවැත්විණි.

මෙහිදී කොළඹ වරාය නගරයේ සංවර්ධන කටයුතු වල වර්තමාන තත්වය නිරීක්ෂණය කරමින් එහි සැහැල්ලු යාත්‍රාංගණයෙහි සහ පදික මංතීරුවෙහි සංචාරයක යෙදුණු දූත පිරිස, ව්‍යාපෘතියේ මධ්‍ය සහ දිගු කාලීන ආයෝජන උපාය මාර්ග සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. වාණිජ්‍ය සහ නොයෙකුත් නවමු වූ අවස්ථා රාශියක් සමගින්, හෙක්ටයාර 269 ක් පුරා ගොඩනැගෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මෙම කලාපයේ නව ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඒ ඔස්සේ රැකියා අවස්ථා මෙන්ම විවිධ නව විදේශ ආයෝජන ඇතුළු ප්‍රතිලාභ රාශියක් මෙරටට ජනනය කෙරීමේ හැකියාවක් ඇති මෙම ව්‍යාපෘතිය සම්බන්ධව මෙහිදී ඔවුහු තමන්ගේ විශේෂ ප්‍රසාදය සහ උද්‍යෝගය පළ කර සිටියහ.

“මෙම ඉහළ පෙළේ දූත පිරිස කොළඹ වරාය නගරයේ සංචාරයක නිරත වීම අපට මහත් සතුටක්. මෙම ව්‍යාපෘතිය තුළ පවතින අවස්ථා ඔවුන්ට පෙන්වා දීමට අපට හැකි වුණා. මෙම සංචාරය, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලෝකයේ උනන්දුව ඉහළ යමින් පවතින බවට ඉතා හොඳ සාක්ෂියක්. ඉදිරියේදී තවත් ආයෝජකයන් මෙහි පැමිණෙනු ඇතැයි කියා අප සිතනවා. එමෙන්ම 2023 වසරේ අප්‍රේල් මාසය වනවිට, කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කිරීමට අප බලාපොරොත්තු වෙනවා.” CHEC Port City Colombo (පුද්ගලික) සමාගමේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලුවිහාරේ මහතා පැවසී ය.

මෙම දූත පිරිසට ෂෙයික් මොහොමඩ් බින් මක්ටූම් බින් ජුමා අල් මක්ටූම්ගේ උපදේශක ලූක් සෙල්වුඩ් මහතා සහ efiscal ආයෝජක සහ හවුල්කරු ඉවාන් ශ්කාර්බා මහතාද ඇතුළත් වූහ. ඉවාන් මහතා දැනටමත් ෂෙයික්වරයා සමග වෙනත් ව්‍යාපාර වලද ආයෝජනය කර ඇත. තවද ඉවාන් ශ්කාර්බා මහතාගේ පෞද්ගලික සහකාරිකා යෙකටෙරීනා කමිලොව්, efiscal හි උප සභාපති (ජාත්‍යන්තර ව්‍යාප්ති) ඩමීර් මක්මුටොව්, Ska Group හි අධ්‍යක්ෂ රහ්මි මොර්කොස්, ෂෙයික්වරයාගේ ව්‍යාපාර සංවර්ධන කළමනාකරු මුස්තෆා උස්මාන් අරිපන්ද්‍රා සහ Eram Group (එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය) හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය සිද්දීක් අහමඩ් යන මහත්ම මහත්මීහුද මෙම සංචාරයට එක්වී සිටියහ.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව වෙනුවෙන් එහි මූල්‍ය සේවා සහ අනුකූලතා අධ්‍යක්ෂ රේවන් වික්‍රමසූරිය, නීති සහ ආයතනික කටයුතු අධ්‍යක්ෂිකා වින්ධ්‍යා වීරසේකර, වාණිජ හා මෙහෙයුම් අධ්‍යක්ෂ දිමන්ත කිනිගම සහ සන්නාමකරණ හා සන්නිවේදන ප්‍රධානී ධාන්‍යා ගුණවර්ධන යන මහත්ම මහත්මීහු දූත පිරිස පිළිගත්හ. CHEC Port City Colombo (පුද්.) සමාගම වෙනුවෙන් එහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලුවිහාරේ, සහකාර කළමනාකාර අධ්‍යක්ෂ එරික් ඔවු, ආයෝජන ප්‍රවර්ධන කලාපීය ප්‍රධානී (ඉන්දු චීන අර්ධද්වීපය) ආචාර්ය ජෝ ලෙක්ප්ලිපොල්, ආයෝජන ප්‍රවර්ධන සහ අලෙවි අධ්‍යක්ෂිකා රදිකා ඔබේසේකර, ආයෝජන ප්‍රවර්ධන සහ අලෙවි විධායක අධ්‍යක්ෂ ශාලක විජයරත්න, ක්‍රමෝපාය සහ ගනුදෙනු සේවා කළමනාකරු නිසල් කරුණාපාල සහ ආයෝජන ප්‍රවර්ධන සහ අලෙවි කලාපීය ප්‍රධානී (මැදපෙරදිග) ශේන් අමදෝරු යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්වූහ.

ශ්‍රී ලංකාවට වර්ග කිලෝමීටර් 2.69 ක භූමි ප්‍රදේශයක් එක්කළ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන මත ක්‍රියාවට නැංවූ ව්‍යාපෘති අතරින් විශාලතම ව්‍යාපෘතිය ලෙස සැලකේ. මෙහි යටිතල පහසුකම් සංවර්ධන කටයුතු 2023 වසරේ 3 වන කාර්තුව වනවිට අවසන් වීමට නියමිතව ඇත. ව්‍යාපෘති සමාගම මේ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක සමස්ත දායකත්වයක් දක්වන අතර, දැනටමත් ඉන් ඩොලර් බිලියන 1.2 ක් මේ සඳහා ආයෝජනය කර තිබේ. නියාමන කටයුතු සම්පූර්ණ වූ වහාම මෙහි ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ආරම්භ වීමට නියමිත වන අතර, ඒ සඳහා තවත් ඩොලර් බිලියන 1.5 ක මුදලක් ආයෝජනය කෙරෙනු ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 7 ක විදයමකින් ඉදිකර 2023 වසරේ අප්‍රේල් මාසයේදී විවෘත වීමට නියමිත තීරුබදු රහිත සාප්පු සංකීර්ණය, දකුණු ආසියාවේ එම වර්ගයේ ප්‍රථම සාප්පු සංකීර්ණය ලෙස සැලකේ. මෙය පාරිභෝගිකයන් සහ සංචාරකයන් විශාල වශයෙන් ආකර්ෂණය වන ස්ථානයක් බවට පත්වනු ඇත.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව