ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ දෙවැනි ශ්‍රේණියේ තරගාවලියක් ලෙස චීනයේ පැවැත්වෙන ආසියානු බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 11 දෙනකු සහ නිලධාරිහු තිදෙනකු චීනය බලා පිටත්ව ගියහ. එම තරගාවලිය මේ මස 9 වැනිදා සිට 14 දින දක්වා චීනයේ නිංබෝ නුවර ඔලිම්පික් ක්‍රීඩා මධ්‍යස්ථානයේ පැවැත්වීමට නියමිතය.
පිරිමි ඒකල සහ යුගල, කාන්තා ඒකල සහ යුගල සමඟ මිශ්‍ර යුගල තරග පැවැත්වෙන ආසියානු බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක විරේන් නෙත්තසිංහ පිරිමි ඒකල තරගයට සහභාගි වන අතර, රනිත්මා ලියනගේ කාන්තා ඒකල තරගයටත් සහභාගි වීමට නියමිතය. විරේන් සමඟ බුවනෙක ගුණතිලක පිරිමි යුගල තරගයට ක්‍රීඩා කිරීමට නියමිත අතර, තුලිත් පල්ලියගුරුගේ සමඟ ඔෂාමික පෙරේරා ද, මධුක දුලාංජන සමඟ ළහිරු වීරසිංහ ද මූලික වටයේ පිරිමි යුගල තරගයට සහභාගි වනු ඇත. මේ අතර කාන්තා යුගල තරගයට සිතුමි ද සිල්වා සමඟ ඉසුරි භාග්‍යා ක්‍රීඩා කිරීමට නියමිතය. මිශ්‍ර යුගල තරගයට චමත් ඩයස් සමඟ රෝෂිණී ගුණසේකර සහභාගි වනු ඇත.
මේ තරගාවලියේදී රොෂාන් නෙත්තසිංහ මහතා විරේන් නෙත්තසිංහගේ පුහුණුකරු ලෙසත්, යුක්ති පෙරේරා මහතා සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරු ලෙසත් සහභාගි වන අතර, මාලිකා වඩුගේ මෙනෙවිය ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය ලෙස සංචාරයට එක් වී සිටී.
ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙසේය.
විරේන් නෙත්තසිංහ, රනිත්මා ලියනගේ, බුවනෙක ගුණතිලක, චමත් ඩයස්, තුලිත් පල්ලියගුරුගේ, ඔෂාමික පෙරේරා, මධුක දුලාංජන, ළහිරු වීරසිංහ, රෝෂිණී ගුණසේකර, සිතුමි ද සිල්වා, ඉසුරි භාග්‍යා අත්තනායක.