ආර්පිකෝ රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කැලුම් සේනානායක මහතා, විධායක අධ්‍යක්ෂ ධූරයට පත්කෙරෙයි

CEO of Arpico Insurance PLC -

 



 

 

ආර්පිකෝ රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ කීර්තිමත් වෘත්තිකයෙකු වන ආචාර්ය කැලුම් සේනානායක මහතා එම සමාගමේ, ස්වාධීන නොවන විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස පසුගියදා පත්කෙරුණි. ඒ,  ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ද අනුමැතිය සමඟිනි.

ආචාර්ය සේනානායක, 2021 මාර්තු මාසයේදී ආර්පිකෝ රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධූරයට පත්වූ අතර, ඔහුට රක්ෂණ ක්ෂේත්‍රයේ වසර 40කට වැඩි අත්දැකීම් ඇත. රක්ෂණ වෘත්තීකයෙකු ලෙස MDRT (Million Dollar Round Table) සන්ධිස්ථානය ශ්‍රී ලංකාව තුල දින 133කින් ළඟාකරගත් ඒ මහතා, මෙරට රක්ෂණ කර්මාන්තය තුළ MDRT සන්ධිස්ථානය මෙලෙස ළඟාකරගත් පළමු සහ එකම ප්‍රධාන විධායක නිලධාරීවරයා වීම ද විශේෂත්වයකි. ආර්පිකෝ රක්ෂණ සමාගමේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී තනතුරුවලට අමතරව එම මහතා, රිචඩ් පීරිස් ඩ්‍රිස්ට්‍රිබියුටර්ස් (Richard Peiris Distributors) සහ රිචඩ් පීරිස් ෆයිනෑන්ස් (Richard Peiris Finance Company) යන සමාගම්වල ද අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරයි.

ජාතික රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන නියෝජිත සමාගම වූ මර්කන්ටයිල් ක්‍රෙඩිට් සමාගමෙන් වර්ෂ 1982දී තම රක්ෂණ වෘත්තීය ආරම්භ කළ ආචාර්ය සේනානායක, අනතුරුව යූනියන් ඇෂුවරන්ස් සමාගමේ වසර 27කට වැඩි කාලයක් සේවය කළේය. ඔහු එහිදී සහකාර සාමාන්‍යාධිකාරී ධූරය දක්වා උසස්වීම් ලබාගැනීමට ද සමත් විය. පසුකාලීනව සාමාන්‍යාධිකාරී- මෙහෙයුම් ලෙස AIA ඉන්ෂුවරන්ස් සමාගම සමඟ එක්වුණු ඒ මහතා, දශකයකට වැඩි එම සේවා කාලය තුළ අධ්‍යක්ෂ- මෙහෙයුම් තනතුර දක්වා උසස්වීම් ලැබුවේය.

″ආචාර්ය කැලුම් සේනානායක මහතා විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වීම සැබවින්ම වැදගත් අවස්ථාවක්. ඔහුගෙන් අපගේ සමාගමටත්, ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තයටත් ලැබෙන සේවාව අතිශය ප්‍රශංසනීයයි. ඔහු ලබාදෙන උපායමාර්ගික මඟපෙන්වීම තුළින් දැවැන්ත ජයග්‍රහණ කරා සමාගම මෙහෙයවීමට අපට හැකිවනු ඇත″, යනුවෙන් ආර්පිකෝ රක්ෂණ සමාගමේ සභාපති රමල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

″ආර්පිකෝ රක්ෂණ සමාගම වැනි ප්‍රමුඛ ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වීමට හැකිවීම මා ලද ගෞරවයක්. අභියෝගාත්මක පරිසරයක වුව ද ඉතා ශක්තිමත් අනාගත සැලසුම් අප සතුයි″, යනුවෙන් ආචාර්ය කැලුම් සේනානායක මහතා පැවසුවේය.

සිය වෘත්තීය ජීවිතය තුළ Munich Re, Hannover Re සහ Reinsurance Group of America (RGA) වැනි ගෝලීය ප්‍රතිරක්ෂණ සමාගම් සමඟ ද ශක්තිමත් සබඳතා ගොඩනඟාගැනීමට ආචාර්ය සේනානායකට හැකිවිය. දශක කිහිපයක් පුරා නව ව්‍යාපාර ප්‍රාරක්ෂණය, රක්ෂණ ඔප්පු හිමියන්ට සේවා සැලසීම, හිමිකම්, සමූහ ජීවිත රක්ෂණ ප්‍රාරක්ෂණය, ප්‍රතිරක්ෂණය, සබඳතා මධ්‍යස්ථාන, පාරිභෝගික සේවා ඇතුළු විවිධ ක්ෂේත්‍ර ගණනාවක ක්‍රමෝපායික සහ මෙහෙයුම් දැනුමක් ද ඔහු සතු ය.

කොළඹ ආනන්ද විදුහලේ ආදි සිසුවෙකු වන ආචාර්ය සේනානායක, Worldview Institute හි ව්‍යාපාර කළමනාකරණ ඩිප්ලෝමාධාරියෙකු වන අතර ඕස්ට්‍රේලියාවේ University of Western Sydney හි ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිධාරියෙකි. මීට අමතරව, London University of Peace මගින් ඔහුට ව්‍යාපාර පරිපාලනවේදී ආචාර්ය උපාධියක්ද පිරිනමා තිබේ. එක්සත් රාජධානිය, ජර්මනිය, ජපානය, සිංගප්පූරුව, හොංකොං, මැලේසියාව, තායිලන්තය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල රක්ෂණ කර්මාන්ත පුහුණුව ද ලබා ඇති ඔහු, තම වෘත්තීය දිවිය තුළ 20,000කට අධික රක්ෂණ වෘත්තිකයින් ගණනක් පුහුණු කර තිබේ.

ආර්පිකෝ රක්ෂණ සමාගම පරිත්‍යාග, සෞඛ්‍ය, කාලීන, සමූහ, ණය රක්ෂණය හා අධ්‍යාපන, ආයෝජන, විශ්‍රාම සහ සහන සැලසුම් වැනි රක්‍ෂණ විසඳුම් රැසක් ඉදිරිපත් කරයි. ශ්‍රී ලංකාවේ දැවැන්තම සහ වඩාත් විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක්වන වසර 90ක ඉතිහාසයක් ඇති Richard Pieris & Company PLC හි අනුබද්ධිත ආයතනයක් වන ආර්පිකෝ රක්ෂණ සමාගම, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් නියාමනය කරනු ලබන මෙරට ප්‍රධානම ජීවිත රක්‍ෂණකරුවන් අතර සිටින ගෞරවනීය ජීවිත රක්‍ෂණ සමාගමකි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව