ආර්පිකෝ ඉන්ෂුවරන්ස් 2021 පළමු කාර්තුවේදී දළ ලිඛිත වාරික ආදායමේ (GWP) 131% ක දැවැන්ත වර්ධනයක් වාර්තා කරයි

CEO of Arpico Insurance PLC - Kelum Senanayake

 




 

 

2021 ජුලි 5, කොළඹදී

ශ්‍රී ලංකාවේ ප්‍ර‍මුඛපෙළේ සමාගමක් වන රිචඩ් පීරිස් සහ සමාගමේ (Richard Pieris & Company PLC) පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන ආර්පිකෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී ආයතනය, පෙර සනිටුහන් කරන ලද සියලු වාර්තා බිඳ හෙළමින් පසුගිය වසරේ මෙම කාලයට සමගාමීව, දළ ලිඛිත වාරික ආදායමේ (GWP) 131% ක වර්ධනයක් වාර්තා කොට දේශීය ජීවිත රක්ෂණ ක්ෂේත්‍ර‍යේ දැවැන්ත ඉදිරි පියවරක් තබා ඇත. ගත වූ පසුගිය වසර 09ක කාලය පුරාවට වාර්තා කරන ලද ඉහළම මාසික ප්‍රතිඵල අත්පත් කරගැනීමට අමතරව, පසුගිය වසරේ පළමු කාර්තුවේ සනිටුහන් කරන ලද 1.8% ක වෙළදපොල හිමි කොටස, 2021 වසරේ පළමු කාර්තුවේදී 2.7% ක් දක්වා ඉහළට ගෙන ඒමටද එම සමාගම සමත් වී ඇත.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය පිළිබඳව අදහස් පළ කරමින් ආර්පිකෝ ඉන්ෂුවරන්ස් ආයතනයේ ප්‍ර‍ධාන විධායක නිලධාරි කැලුම් සේනානායක මහතා මෙසේ පැවසීය. “පවතින ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ථිකමය පසුබෑමක් ඇති මෙවැනි කාලයක අපගේ සමාගම් ඉතිහාසයේ විශිෂ්ටතම කාර්තුව අත්පත් කර කරගැනීමට හැකි වීම සහ කැපී පෙනෙන ප්‍රතිඵල රාශියක් පෙන්වීමට හැකියාව ලැබීම සම්බන්ධයෙන් අප ඉතාමත් සතුටට පත්වෙනවා. දළ ලිඛිත වාරික ආදායම ගත්කල 2020 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, මෙම වසරේදී 131% ක වර්ධනයක් අප  අත්පත් කරගෙන සිටින අතර එය ශ්‍රී ලංකාවේ ප්‍ර‍මුඛතම ජීවිත රක්ෂණ සමාගම් 10 අතර ඉහළම වර්ධන අගයයි. ඊට අමතරව, 2020 වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුවේදී නිකුත් කරන ලද රක්ෂණ ඔප්පු සංඛ්‍යාවේ 104% ක වර්ධනයක් අප විසින් ලගා කරගන්නා ලද අතර, ඒ සමගින් දළ ලිඛිත වාරික ආදායම සහ රක්ෂණ ඔප්පු නිකුතුව සම්බන්ධයෙන් එම කාර්තුව තුල මෙතරම් වර්ධන අගයක් සනිටුහන් කළ ශ්‍රී ලාංකීය රක්ෂණ ක්ෂේත්‍රයේ එකම සමාගම බවට අප සමාගම පත් වෙනවා.”

මේ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් ප්‍ර‍කාශ කර සිටියේ වසංගත කාලය තුළදී වුවත්, 2020 වසරේ සමස්ථ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ 16% ක වර්ධනයක් පෙන්නුම් කරන ලද බවයි. “අපගේ රක්ෂණ ඔප්පු හිමියන් වෙත නොමසුරු සහායක් ලබාදෙමින්, සේවා ස්ථාන තවදුරටත් පුළුල් කරමින් සහ Arpico CovidCare වැනි නව්‍යකරණය වූ සේවාවන් හඳුන්වාදෙමින් මෙම වර්ධනයට අපගේ දායකත්වය නොමදව ලබාදුන් බවට අපි විශ්වාස කරනවා. Arpico CovidCare යනු කොවිඩ්-19 වෙනුවෙන්ම වෙන් වුණු ශ්‍රී ලංකාවේ එකම රක්ෂණාවරණය වන අතර PCR පරීක්ෂණ සඳහා සහ කොවිඩ්-19 එන්නත් සඳහා වැය වන ගාස්තු ද මෙම රක්ෂණය යටතේ ආවරණය කෙරෙනවා. ඊට අමතරව සම්පූර්ණ වර්ෂය සඳහාම එකවර මුදල් ගෙවා මෙම රක්ෂණාවරණය ලබාගැනීමේ පහසුකම ද අප ලබා දී තිබෙනවා.”

දිවයින පුරා ගනුදෙනුකරුවන් විශාල ප්‍ර‍මාණයකට වඩාත් ප්‍රශස්ථ සේවාවක් ලබාදීම සහ වෙළදපොළ හිමි කොටස වර්ධනය කරගැනීම යන අරමුණු පෙරදැරිව, රක්ෂණ ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල ප්‍ර‍වීණයන්ගෙන් සැදුම්ලත් සිව්වන ව්‍යාපාර අංශය සමාගම විසින් මෑතකදී පිහිටුවන ලදී. සමාගම සිය සේවා සැලසුම් සවිමත් කිරිමට අඛණ්ඩව කටයුතු කරන අතර පරිත්‍යාග, සෞඛ්‍ය රක්ෂණාවරණ, කාලීන සහතික, අධ්‍යාපනය, ආයෝජනය, විශ්‍රාම, ණය ආරක්ෂණය ඇතුළු සැලසුම් රැසක් සිය ගනුදෙනුකරුවන් වෙත පිරිනමයි. එමෙන්ම සිය නිෂ්පාදන පෙළ තවදුරටත් ශක්තිමත් කරමින්, පාරිභෝගිකයින්ට නව්‍ය වූ සේවාවන් පිරිනැමීම සඳහා, ආර්පිකෝ රක්ෂණ සමාගම ප්‍රමුඛ පෙළේ බැංකු සහ මූල්‍ය ආයතන කිහිපයක් සමග ද අත්වැල් බැඳගෙන සිටී.

2011 වසරේ පිහිටුවන ලද ආර්පිකෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී ආයතනය, වසර 90 ක පමණ කාලයක් පුරා අනුබද්ධිත ආයතන 50 ක් සහ 30,000 කට අධික කාර්ය මණ්ඩලයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාරයක් වන රිචඩ් පිරිස් සහ සමාගමේ (Richard Pieris & Company PLC) පූර්ණ අනුබද්ධිත ආයතනයකි.  ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මගින් නියාමනය කෙරෙන, ජනතා විශ්වාසය දිනූ, වෘත්තීයමය වශයෙන් අනගි සේවයක් තම පාරිභෝගිකයන් වෙත පිරිනමන ආර්පිකෝ රක්ෂණ සමාගම, ශ්‍රී ලංකාවේ විශාලතම ජීවිත රක්ෂණ සමාගම් 10 තුල රැදී සිටින අතර, ජීවත්වන්නන් සදහා රැකවරණය සලසන ජීවිත රක්ෂණ සමාගම ලෙසින් ද ගෞරවාදරයට පාත්‍ර වී ඇත.

 

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව